රාජ්‍ය සේවය වඩාත් ආකර්ෂණීය වෘත්තියක් බවට පත් කිරීමේ අරමුණින් දැනටමත් 2025 සහ 2026 වසරවලදී වැටුප් වර්ධක ලබා දී ඇති අතර, ඉදිරි 2027 වසරේ ජනවාරි මාසයේදී ද තවත් නව වැටුප් වර්ධකයක් ලබා දීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නවීකරණය කිරීම පිළිබඳව අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ජනතාවට වගකියන කාර්යක්ෂම සේවාවක් බිහි කිරීම සඳහා ඉදිරි වසරක වැනි කෙටි කාලයක් තුළ රජය සමඟ සිදු කරන සියලු වැදගත් ගනුදෙනු නිවසේ සිටම මාර්ගගත (Online) තාක්ෂණය ඔස්සේ ඉටු කරගත හැකි ක්‍රමවේදයක් සකස් කරන බවයි.
රට ගොඩනැඟීමේ ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් ජනතාවගේ විශ්වාසය දිනාගත්, කාර්යක්ෂම සහ දිරිගැන්වූ රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය වන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















