දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය සහ කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනය හේතුවෙන් පානදුර අධ්යාපන කලාපය ඇතුළු ප්රදේශ රැසක පාසල්වල සිසුන්ගේ පැමිණීම අද (15) දින කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.
අඛණ්ඩව ඇද හැලෙන වැසි සහ අකුණු අනතුරු පිළිබඳ බිය නිසා බොහෝ දෙමාපියන් තම දරුවන් පාසල් යැවීමෙන් වැළකී සිටිනු දක්නට ලැබුණි. මීට අමතරව, පානදුර අවට සමහර පහත් බිම් සහ පාසල් වෙත පිවිසෙන මාර්ගවල ජලය රැස්වීම නිසා මගීන්ට සහ පාසල් දරුවන්ට ගමනාගමන කටයුතුවලදී යම් අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවී ඇති අතර, ඒ හේතුවෙන් දෛනික අධ්යාපන කටයුතුද යම් පමණකට සීමා විය.
කෙසේ වෙතත්, මේ වන තෙක් කාලගුණ තත්ත්වය මත පමණක් පාසල් නිවාඩු ලබාදීමක් නිල වශයෙන් සිදු කර නොමැති අතර, ඉදිරි පැය කිහිපය තුළ කාලගුණික තත්ත්වය නිරීක්ෂණය කරමින් අදාළ කලාප අධ්යාපන බලධාරීන් සහ විදුහල්පතිවරුන් විසින් සුදුසු පියවර ගනු ඇති බව සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි සහ තද සුළං පවතින අවස්ථාවන්හිදී දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස අදාළ අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.














