ජාත්‍යන්තර සංචාරක මාධ්‍ය ජාලයක් වන Big 7 Travel විසින් සිදුකළ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව, 2026 වසරේ සංචාරය කිරීමට සුදුසු ලොව හොඳම දූපත් 50 අතුරින් ප්‍රථම ස්‌ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. දූපත් රාජ්‍යයක් වශයෙන් මෙවැනි ගෝලීය පිළිගැනීමක් හිමිවීම සංචාරක කර්‌මාන්තයේ උන්නතිය වෙනුවෙන් පවතින දැවැන්ත අවකාශය ප්‍රදර්ශනය කරයි. සුවිශේෂී ස්‌වාභාවික සුන්දරත්වය සහ පොහොසත් සංස්‌කෘතික උරුමය අන්තර්‌ජාතික මට්‌ටමින් මෙතරම් ඉහළින් අගය කිරීම, ශ්‍රී ලංකාව ලෝක සංචාරක සිතියමේ සුවිශේෂී තැනකට රැගෙන යාමට සමත් වී ඇත.
ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණිගත කිරීමේ පෙරමුණට පැමිණීම සඳහා සැතපුම් 833ක දිගින් යුත් වෙරළ තීරය, මධ්‍ය කඳුකරයේ දර්ශනීය ස්‌වභාවය සහ ලෝක ප්‍රසිද්ධ තේ වගාවන් ප්‍රධාන සාධක ලෙස Big 7 Travel පෙන්වා දෙයි. මීට අමතරව, යුනෙස්‌කෝ ලෝක උරුම සිගිරිය සහ යාල ජාතික වනෝද්‍යානය වැනි සංචාරක ආකර්‌ෂණීය ස්‌ථාන මෙරටට හිමිවී තිබීම මෙම ජයග්‍රහණය තවත් තීව්‍ර කර තිබේ. එපමණක් නොව, ශ්‍රී ලංකාවේ උණවටුන වෙරළ තීරය ලොව හොඳම වෙරළ තීරයන් 50 අතර 26 වැනි ස්‌ථානයට පත්වීම මෙරට වෙරළ සංචාරක කර්‌මාන්තයට ලැබුණු තවත් සුවිශේෂී අගය කිරීමකි.
මෙම ජාත්‍යන්තර පිළිගැනීම ඉදිරියේදී මෙරට සංචාරක පැමිණීම ඉහළ නැංවීමටත්, ආර්ථික පුනර්‌ජීවනයක් උදා කිරීමටත් බලපාන ප්‍රබල සාධකයක් වනු ඇත. මෙම ජයග්‍රහණය තවදුරටත් තිරසාර කර ගැනීම සඳහා ස්‌වාභාවික සම්පත් ආරක්‍ෂා කිරීම සහ සංචාරක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අප සතු වගකීමකි. ගෝලීය සංචාරකයන්ගේ හදවත දිනා ගැනීමට සමත් වූ අපේ රට, ඉදිරියේදී තව තවත් මෙවැනි ජයග්‍රහණ කරා ගමන් කරනු ඇති බවට සහතිකයක් මෙම ඇගයීම මගින් ලබා දෙයි.
















