සියදිවි නසාගැනීම් වළක්වා ගැනීම හුදෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා නොවූ මුළු මහත් දේශයේම හවුල් වගකීමක් බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය අවධාරණය කරයි. මාධ්‍යවේදීන් උදෙසා පැවැති “සියදිවි නසාගැනීම් සම්බන්ධයෙන් වගකීම් සහගත මාධ්‍ය වාර්තාකරණය” පිළිබඳ විශේෂ වැඩමුළුවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
මාධ්‍ය නිදහස සුරකිමින් රට තුළ සදාචාරාත්මක සහ වගකීම් සහගත මාධ්‍ය සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ විය. එහිදී විශේෂයෙන් අවධාරණය කෙරුණේ නොගැලපෙන හෝ අනවශ්‍ය ලෙස සංවේදී කරුණු ඉස්මතු කරමින් සිදුකරන වාර්තාකරණයන් නිසා මානසිකව වැටී සිටින පුද්ගලයින් තවදුරටත් අසරණ විය හැකි බවයි.
ජනමාධ්‍ය සතු සන්නිවේදන බලය යොදාගත යුත්තේ පීඩාවට පත් වූවන් උපකාර පැතීමට යොමු කිරීම සහ මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ සමාජයේ පවතින දුර්මත දුරු කිරීම සඳහා බව නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය යන ක්ෂේත්‍ර ද්විත්වයම එක්ව, දේශීය සංස්කෘතියට ගැලපෙන හොඳම වාර්තාකරණ මාර්ගෝපදේශයන් ඔස්සේ පොදු එකඟතාවයකට පැමිණීම මෙම වැඩසටහනේ අවසාන අපේක්ෂාවයි.
















