අද දිනයේත් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් අත්තනගලු ඔය සහ කළු ගඟේ පහළ ප්රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.
මේ වන විට අත්තනගලු ඔයේ සහ කළු ගඟේ මිල්ලකන්ද හා ඇළගාව යන ස්ථානවල ජල මට්ටම් ඉහළම අගයක පවතින බව ඔහු සඳහන් කරයි. කැලණි ගඟේ ජල මට්ටම සීග්රයෙන් ඉහළ නොගියද ක්රමයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන නමුත්, මේ දක්වා එහි ගංවතුර අවදානමක් නොමැත. කෙසේ වෙතත්, නිල්වලා, ගිං, කැලණි, කළු, අත්තනගලු සහ බෙන්තර යන ප්රධාන ගංගාවල පහළ ප්රදේශවල ජල මට්ටම මේ වන විට යම්තාක් දුරට ඉහළ ගොස් තිබේ.
ඉදිරි කාලගුණික තත්ත්වය අනුව අදාළ ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින්, එම ගංගාවල පහළ ප්රදේශවල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් සහ අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.














