ශ්‍රී ලංකාව තුළ ඉදිරි මාසවලදී එල් නිනෝ දේශගුණික සංසිද්ධිය හේතුවෙන් වියළි කාලගුණ තත්ත්වයෙන් තෙත් කාලගුණයක් වෙත අපේක්ෂිත සංක්‍රාන්තියත් සමඟ, නායයෑම් අවදානම ඉහළ යා හැකි දිස්ත්‍රික්කවල ආපදා සූදානම ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පවත්වන ලද විශේෂ කැබිනට් අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ පස්වන රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ඉදිරි වැසි තත්ත්වයන් සමඟ ගංවතුර සහ නායයෑම් වැනි හදිසි ආපදා තත්ත්වයන් ඇති වීමේ හැකියාව කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇති අතර, හදිසි අවස්ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ආපදා සූදානම් වීමේ පුහුණු අභ්‍යාස පැවැත්වීමට සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීමට තීරණය කර තිබේ. ප්‍රාදේශීය ලේකම් මට්ටමින් මෙහෙයුම් මධ්‍යස්ථාන පිහිටුවීමේ වැදගත්කම සාකච්ඡා කළ මෙම රැස්වීමේදී, දැනට පවතින එල් නිනෝ තත්ත්වයන් නිසා පීඩාවට පත් වූවන්ට ලබා දෙන සහන සේවා වල ප්‍රගතිය සහ ඉදිරි කාලගුණ විපර්යාසවලට මුහුණ දීමට සැලසුම් කර ඇති පියවරයන් ද සමාලෝචනය කර ඇත.














