ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැස්වීම් සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ තායිලන්තයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සරුන් චරෝෙන්සුවන් (Sarun Charoensuwan) මහතා අතර බැංකොක් නුවරදී පැවති සාකච්ඡා වලදී ශ්‍රම සහයෝගීතා අවබෝධතා ගිවිසුම සහ තායිලන්තයේ ශ්‍රී ලංකා සේවකයන් යෙදවීමේ ගිවිසුම අවසන් කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුව, ඊයේ (15) පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කරමින් ඔවුන් පිළිගැනීමට තායිලන්ත පාර්ශ්වයේ සූදානම පළ කර ඇත.
දෙරට අතර සංචාර පහසු කිරීමට සහ ජනතා හුවමාරු ශක්තිමත් කිරීමට අරමුණු කරගත් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රලාභීන් සඳහා වන වීසා නිදහස් කිරීමේ සාකච්ඡා වේගවත් කිරීමටද දෙරට එකඟ වී තිබේ. දිගුකාලීන මිත්‍රත්වය, පොදු බෞද්ධ උරුමය සහ සමීප සංස්කෘතික සබඳතා මත පදනම්ව ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු කිරීමටත්, වෙළඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්රවල ආර්ථික සහයෝගීතාව වැඩි දියුණු කිරීමටත් මෙහිදී අවධානය යොමු කර ඇත. එසේම, මිනිස් ජාවාරම් සහ සයිබර් අපරාධ ඇතුළු අන්තර්ජාතික අපරාධ මැඩපැවැත්වීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීමටද ඇමතිවරු එකඟ වී තිබේ.
මෙම හමුවට තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති විජයන්ති එදිරිසිංහ මහත්මිය ඇතුළු දෙරටේ විදේශ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ නායකයන් සහභාගී වී ඇති අතර, නියෝජ්‍ය අමාත්‍ය සරුන් චරෝෙන්සුවන් මහතා අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඔහුගේ දූත පිරිස වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වා ඇත.














