ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය සහ වැසි තත්ත්වය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඉදිරි පැය 24 පුරා බලාත්මක වන මෙම නිවේදනය මඟින් උතුරු අක්ෂාංශ 20ත් දකුණු අක්ෂාංශ 10ත්, නැගෙනහිර දේශාංශ 60ත් 100ත් අතර මුහුදු කලාපවල සංචරණය කරන ධීවර සහ නාවික ප්‍රජාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ. අදාළ අඩු පීඩන පද්ධතිය ඉදිරි පැය 36 තුළ දිවයිනෙන් ඉවතට ගමන් කරමින් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කළද, එහි බලපෑම නිසා බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද සුළං සහ තද වැසි ඇතිවීමේ අවදානමක් පවතී.
කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ රළු විය හැක. තවද පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු රළ උස මීටර් 2.0ත් 2.5ත් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති වී මුහුද ඉතා රළු විය හැකි බව ද කාලගුණ නිවේදනයේ දැක්වේ. එබැවින් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ඉදිරි අනාවැකි පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.














