දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට පවතින වියළි සහ උණුසුම් කාලගුණ තත්ත්වය වෙනස් වෙමින්, ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එම ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
පැවති දැඩි නියඟය හේතුවෙන් උතුරුමැද, නැගෙනහිර මෙන්ම උතුරේ සහ දකුණේ දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පානීය ජල ගැටලු සහ කෘෂිකර්මාන්තය සම්බන්ධ දුෂ්කරතාවලට මුහුණ දී සිටින පසුබිමක, ඇතැම් ප්‍රදේශවලට මෑතකදී වැසි පතිත වී තිබේ. කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවල තවදුරටත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින අතර, නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.














