හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය සහ ඔහු අත්අඩංගුවේ රඳවා තබා ගැනීම පිළිබඳව අවධානය යොමු කරමින්, හිටපු මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. පක්ෂ දේශපාලනයෙන් බැහැරව, නීතියේ සමානාත්මතාවය සුරේෂ් සලේ මහතා වෙත ද ලබාදෙන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
සුරේෂ් සලේ මහතා මාස තුනකට අධික කාලයක් රඳවා තබා ගෙන සිටින්නේ අධිකරණ නියෝගයකින් නොව, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කරන ලද රඳවා තබා ගැනීමේ නියෝගයක් මත බව ඔවුන් පෙන්වා දෙයි. ඔහුට කෲර ලෙස සලකන බවට ජනාධිපති නීතිඥවරුන් දෙපළක් විසින් අධිකරණයේදී අනාවරණය කර ඇති අතර, එය තහවුරු කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් වාර්තාවක් ද ඉදිරිපත් කර තිබේ.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම ප්‍රමාද නොකළ යුතු බවත්, එය ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ වගකීමක් බවත් පිළිගන්නා මෙම හිටපු මැති ඇමතිවරුන්, එම නෛතික ක්‍රියාමාර්ග ගෝත්‍රික දේශපාලන මාත්‍රාවෙන් තොර සහ විශ්වසනීය විය යුතු බව අවධාරණය කරයි. මෙම ලිපිය හරහා පාස්කු දින ප්‍රහාරයට අදාළ චූදිතයන්ට එරෙහි ක්‍රියාමාර්ග අඩපණ කිරීමේ අදහසක් තම කණ්ඩායමට නොමැති බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
වගකීම් විරහිත ප්‍රතික්‍රියා හමුවේ මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින් වූ තමන්, වගකීම් සහගත පුරවැසියන් ලෙස මෙම කරුණ පෞද්ගලිකවම ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට තීරණය කළ බව එම ලිපියේ දැක්වේ.
















