27 April 2024
#දේශීය

මම රටට මොනවාද කරන්නේ කියන හැගීමෙන් වැඩ කරන තරුණ අවශ්‍යයි – ඇමැති රොෂාන්

රට මට මොනවද කළේ කියා නොවේ තමා රටට මොනවාද කරන්නේ කියන හැගීමෙන් වැඩ කරන තරුණ පිරිසක් හදන්න අවශ්‍ය බවත් රටක් ජාතියක් ලෙස නැගීසිටින්න නම් අපි ඒ ආකල්පමය වෙනස ඇති කරගත යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය (02) දා ජාතික තරුණ සේවා සභාවේ පැවති නව සභාපතිවරයාගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වූ අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය ” උදේට සේවයට ඇවිත් හවස ගෙදර යනකොට ඔබේ හෘදසාක්ෂියෙන් අහන්න වෙන කාගෙන්වත් අහන්න අවශ්‍ය නෑහැ. ඔබේ හෘදසාක්ෂියෙන් ඔබ අහන්න මම ගන්න වැටුපට මගේ සාධාරණය ඉෂ්ට වුනාද කියලා. ඔබෙන් අහන්න ඔබෙන් රටට, මේ තරුණයන්ට සාධාරණයක් ඉෂ්ට වුණාද කියලා. මේ තරුණයින් බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එක හදන්න ඇප කැප වෙලා වැඩ කරමු. ඒ සදහා ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා මා කෙරෙහි ලොකු විශ්වාසයක් තියලා මේ වගකීම පවරලා තිබෙන්නේ. ඒ වගකීමට අනුව සුදුසුම කියලා හිතෙන සභාපතිතුමෙක් පත් කළේ. එතුමා ගැන මට ලොකු විස්වාසයක් තිබෙනවා. මේ හැමදේකම පැවැත්ම තිබෙන්නේ විශ්වාසය මත. ඒ නිසා එතුමා ඔබත් සමග සහෝදරත්වයෙන් වැඩ කටයුතු සිදු කරාවි. පූර්ණ සහයෝගය දෙන්න. එකතුවෙලා වැඩ කරන්න. එතුමා වැඩේට හයිය දෙයි. ලකුණු ටික ඔබට දෙයි. එ සදහා අපි සියලුදෙනා අමාත්‍යාංශය විදියට ඔබට සහයෝගය නිරන්තරයෙන්ම ලබා දෙනවා’’ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකොන් මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිරාන්ද සිල්වා මහතා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ උපදේශක රවීන්ද්‍ර සමරවික්‍රම මහතා, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ (පාලන) මනුල චමල් පෙරේරා මහතා, තරුණ පාර්ලිමේන්තුවේ අගමැති යුපුන් රණසිංහ මහතා, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් කවිදු කවීන් මහතා ඇතුලු නිළධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *