27 April 2024
#දේශීය

ලෝක නගර දිනය නිමිත්තෙන් සයිකල් සිකුරාදා වැඩසටහන සඳුදා ඇරඹේ

ලෝක නගර දිනය නිමිත්තෙන් ඔක්තෝම්බර් 31 වැනි සඳුදා සිට නාගරික සංවර්ධන අධිකාරිය සතියේ එක් දිනක් පාපැදියෙන් සේවට වාර්තා කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව එහි සමාරම්භක උත්සවය ලෝක නගර දිනය යෙදෙන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් (31) පෙරවරු 8.15ට බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පවසයි.

අනතුරුව සතියේ සෑම සිකුරාදාවකම “සයිකල් සිකුරාදා – පා පැදියෙන් වැඩට එමු” වැඩසටහන ක්‍රියාත්මක කර සේවකයන්ට පාපැදියෙන් සේවයට වාර්තා කිරීමට පහසුකම් සළසන බවද නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පවසන්නේ පරිසර හිතකාමී නගරයක් සහ සෞඛ්‍ය සම්පන්න නගරවැසියන් බිහිකිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම මෙන්ම මාර්ග තදබදය අවම කිරීම, ප්‍රධාන මාර්ගයට අමතරව නගරයේ ඇති අතුරු මාර්ග ජනතාව අතර ප්‍රචලිත කිරීම ද මෙහි මූලික අරමුණු අතර වන බවයි.

එමෙන්ම පාපැදියෙන් සේවයට වාර්තා කරන සේවක සේවිකාවන් දිරිමත් කිරීම සඳහා පාපැදි මිලදී ගැනීමට මූල්‍යාධාර ලබාදීම, නාගරික සංවර්ධන අධිකාරියේ පාපැදි සංසදයේ සාමාජිකත්වය ලැබීම ඇතුළු තවත් වරප්‍රසාද රාශියක් හිමිවන බවද හෙතෙම සඳහන් කරයි.

පාපැදියෙන් සේවයට වාර්තාකරනු ලබන සේවකයන්ගේ පාපැදි නතර කිරීමට අමාත්‍යංශ පරිශ්‍රයේ ආවරණ සහිතව වෙනමම ස්ථානයක් ස්ථාපිත කර තිබේ. එමෙන්ම එම සේවක සේවිකාවන්ට සනීපාරක්ෂක පහසුකම්ද සළසා තිබේ.
එමෙන්ම පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේදී එම සේවක සේවිකාවන්ට සැහැල්ලු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට ද අවසරය හිමිවේ.

පාපැදි කරුවන් සඳහා වෙනමම මංතීරු සැකසීම, දුම්රිය ස්ථාන හා බස් නැවතුම්පළ ආසන්නයේ පාපැදිකරුවන් සඳහා පහසුකම් සැළසීම සම්බන්ධයෙන් ඉදිරියේ දී අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා වැඩිදුරටත් පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *