27 April 2024
#දේශීය #පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මාලදිවයින් ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය 05 වනදා මාලදිවයිනේ ආරක්‍ෂක අමාත්‍ය මොහොමඩ් ගසාන් මඋමූන් එරට ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.

මෙම හමුවේදී මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක බලකායට ලබාදුන් අඛණ්ඩ පුහුණු සහාය වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකාවේ රජයට සහ ත්‍රිවිධ හමුදාවට සිය කෘතඥතාවය පුද කළේය.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ආරක්‍ෂක සහයෝගීතාවයේ සහ වැදගත්කම තවදුරටත් අවධාරණය කළ අමාත්‍ය ගසාන් කලාපීය සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා දෙරට අතර, සහයෝගී ප්‍රයත්නයන් තුලින් ඉටුකෙරෙන අතිශය වැදගත් මෙන්ම තීරණාත්මක කාර්යභාරය ද මෙම හමුවේදී ඉස්මතු කළේය.

දේශගුණික විපර්යාස සහ පාරිසරික ආරක්‍ෂාව, අන්තවාදය, නීති විරෝධී ජාවාරම්, ආපදා සහ මානුෂීය අර්බුද වැනි පොදු අභියෝගවලට මුහුණදීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් අවධාරණය කළ අතර, යුක්රේනය සහ රුසියාව අතර, මෙන්ම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දැනට පවතින යුද ගැටුම් හේතුවෙන් ඉන්දීය සාගර කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද ඔහු සඳහන් කළේය.

ආරක්‍ෂක සහයෝගීතාව, ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම, පවතින සබඳතා ශක්තිමත් කිරීම සහ සහයෝගීතාවය සඳහා නව මාවත් හඳුනාගැනීම, කලාපීය සාමය ප්‍රවර්ධනය, ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සඳහා එක්ව කටයුතු කිරීම වෙනුවෙන් වූ සිය කැපවීම මෙම හමුවේදී අමාත්‍යවරු දෙදෙනාම යළිත් තහවුරු කළහ.

රාජ්‍ය අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා යුධ හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරල් සුමිත් නන්දන, මාලදිවයිනේ විදේශ ලේකම් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ මැක්ස්වෙල් කීගල්, මාලදිවයිනේ ජාත්‍යන්තර ආරක්‍ෂක සහයෝගිතා සහ ප්‍රථිපත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අධ්‍යක්‍ෂ කර්නල් හුසේන් ඊබ්‍රහිම්, මාලදිවයිනේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා ලේකම් කර්නල් හසන් බුෂ්‍රී, ශ්‍රී ලංකාවේ මාලදිවයිනේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ වින්ග් කමාන්ඩර් චමින්ද රණසිංහ යන නිලධාරීන්ද මෙම හමුවට සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *