27 April 2024
#දේශීය #පුවත්

‘‘ආණ්ඩුවට රටේ වංචා දූෂණ අවම කරන්න අවශ්‍යතාවයක් නෑ‘‘ – හිටපු මන්ත්‍රී මුජිබර් රහුමාන්

කොප් කමිටුවේ සභාපතිධූර සඳහා පත් කර තිබෙන්නේ වංචා සහ දූෂණ චෝදනා තිබෙන හිටපු ඇමැතිවරයෙක් බවත් ආණ්ඩුවට රටේ වංචා දූෂණ අවම කරන්න හෝ වංචා දූෂණ වලින් තොර පාලනයක් ඇති කරන්න සූදානම් නැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (10) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙනමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා ‘‘පාර්ලිමේන්තුව වාර අවසාන කරලා නැවත පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කළා. පාර්ලිමේන්තුව වාර අවසාන කළාට පසුව පාර්ලිමේන්තු කමිටු වල සිටින සභාපතිවරුන්ගේ කාලයත් අවසන් වනවා. ඒ අනුව පාර්ලිමේන්තු කමිටු සඳහා අලුත් සාමාජිකයන් පත් කළ යුතු වෙනවා. පාර්ලිමේන්තුව වාර අවසාන කළාට පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කරලා තිබෙන ප්‍රශ්න , පෙත්සම් නැවත අලුතින් ආරම්භ කරන්න සිදු වෙනවා. කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න සිදුවුණා. ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවනු ලැබූ අවස්ථාවේදී හිටපු කෝප් කමිටු සභාපතිවරයා ක්‍රිකට් ආයතනයට පක්ෂපාතිව කටයුතු කළ බවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු හිටපු කෝප් කමිටු සභාපතිවරයාට චෝදනා එල්ල කළා. ඒ අනුව හිටපු කෝප් කමිටු සභාපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස කතානායකවරයා පැවසුවා. නමුත් ඔහු සභාපතිධූරයෙන් ඉවත් වුණේ නෑ. ඒ වගේම සභාපතිධූරයෙන් හිටපු කෝප් කමිටු සභාපතිවරයාව ඉවත් කිරිමේ තීරණය කතානාකවරයාට ගන්න බැරිවුණා. ඒ අනුව හිටපු සභාපතිවරයාව ඉවත් කිරිමේ තීන්දුව කතානායකවරයාට ගන්න බැරි වුණ නිසා පාර්ලිමේන්තුව වාර අවසාන කරන්නැයි කතානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. එක පුද්ගලයෙක් වෙනුවෙන් පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න සිදුවුණා. නැවත පාර්ලිමේන්තුව පටන් ගත්තාම කොප් සහ කෝපා කමිටුවල සභාපතිධූර විපක්ෂයට ලබාදෙයි කියලා පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම විශ්වාස කළා. යහපාලන ආණ්ඩුව සමයේ කෝප් සහ කෝපා කමිටුවල සභාපතිවරු ලෙස පත් කළේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්.

කොප් සහ කෝපා කමිටුවල සභාපතිධූර සඳහා අලුත් පත් කර තිබෙන්නේ වංචා දූෂණ චෝදනා එල්ල වී සිටින , අල්ලස් හා දූෂණ කොමිසමේ චෝදනා තිබෙන හිටපු ඇමැතිවරයෙක් තමයි කොප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කරලා තිබෙන්නේ. නරින්ට කුකුල්ලො භාර දුන්නා වගේ වැඩක් තමයි වෙලා තිබෙන්නේ. ඒ වගේම කෝපා කමිටුවේ සභාපතිධූරටයත් ආණ්ඩුවේ ඇමැතිවරයෙකුට භාර දීලා තිබෙනවා. ආණ්ඩුව වංචා දූෂණ අවම කරන්න හෝ වංචා දූෂණ වලින් තොර පාලනයක් ඇති කරන්න රාජපක්ෂ වික්‍රමසිංහ පාලනය සූදානම් නෑ කියන දේ තමයි මෙයින් පෙනෙන්න තිබෙන්නේ. රටේ ජනතාවගේ සිතුම් පැතුම් ගැන රාජපක්ෂ වික්‍රමසිංහ පාලනයට කිසිදු තේරුමක් නැති බව තමයි මෙවැනි ක්‍රියාවලින් පෙනෙන්නේ.

රාජ්‍ය , අර්ධ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයන ප්‍රධාන කමිටුවක් වන කොප් කමිටුවට දූෂිත චෝදනා ලද පුද්ගලයින් පත් කිරීම තුළ රාජපක්ෂ වික්‍රමසිංහ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ වංචා දූෂණ තව තවත් යටපත් කරන්න. රාජපක්ෂ වික්‍රමසිංහ පාලනය නැවත නැවත ජනතාවගේ වෛරයට පාත්‍ර වෙනවා. රාජපක්ෂ වික්‍රමසිංහ පාලනය විසින් ජනතාව නැවත කෝප කරන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. රාජපක්ෂ වික්‍රමසිංහ පාලනය රටේ සිදු කරන්නේ ජනතාව බලාපොරොත්තුවන දේවල් නෙවෙයි. ඔවුන් කරන්නේ වංචා දූෂණ චෝදනා එල්ල වුණ පුද්ගලයන් තනතුරු වලට පත් කරලා රටේ ජනතාව ඇවිස්සවීමේ ක්‍රමවේදයකටද කියලා අපිට ගැටලුවක් තිබෙනවා. මේ කරන කටයුතු පිළිබඳව රාජපක්ෂ වික්‍රමසිංහ පාලනයට ජනතාවට වගකියන්න සිදුවෙයි යැයි මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *