27 April 2024
#දේශීය

සමාජ සුබ සාධනය කප්පාදු කිරීමට කිසිදු සූදානමක් නැහැ – වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන්

සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ වැඩසටහන යටතේ දැනට ප්‍රතිලාභ ලබන කිසිදු පාර්ශ්වයකට එය අහිමි වී යාමේ අවධානමක් නැතැයි වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ප්‍රතිලාභ ලැබීමේ ක්‍රමවේදයන් විධිමත් කිරීම සහ තව දුරටත් ප්‍රතිලාභ ලැබිය යුතු පාර්ශ්ව හඳුනා ගැනීම පමණක් මෙමගින් සිදු කෙරෙන බවයි. රජය කිසිදු අවස්ථාවක සමාජ සුබ සාධනය කප්පාදු කිරීමට සූදානම් නොමැති බව ද සේමසිංහ මහතා අවධාරණය කරයි. ඒ අනුව හෙටින් (30) අවසන්වීමට නියමිතව තිබූ සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ වැඩසටහන 2022 යටතේ අයදුම්පත් කැඳවීමේ දිනය ඔක්තෝබර් මස 15 දක්වා දීර්ඝ කර තිබේ.

දැනට සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ජීවනාධාර සහ මහජන ආධාර ලබන සියලුම ප්‍රතිලාභීන්, පොරොත්තු ලේඛනවල සිටින අයදුම්කරුවන් සහ ප්‍රතිලාභ අපේක්ෂිත සියලු පිරිස් මෙම නව ලියාපදිංචියට ඇතුළුත්වීම අනිවාර්ය වේ.

මේ සඳහා අයදුම් කිරීමට සියලු අයදුම්කරුවන් ආදර්ශ අයදුම්පත් පුරවා තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිය යුතු ය. වැඩි විස්තර 0112 – 151481 අංකයෙන් හෝ 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමැතීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතී.

මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි නොවීම සුබසාධක ප්‍රතිලාභ පනතේ 7(1) වගන්තිය යටතේ ඉදිරි රාජ්‍ය ප්‍රතිලාභ අහිමිවිමට හේතුවක් විය හැකිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *