බුලත්කොහුපිටිය බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් අරණායක ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුර, දැඩි ලෙස ආරක්ෂිත ඕලු මුවෙකු මරා මස් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අරණායක ප්‍රදේශයේ පදිංචි 52 සහ 62 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් කේබල් යොදා ගනිමින් කඳුකර ප්‍රදේශවල මදු අටවා සතුන් දඩයම් කර ඇති අතර, ඔවුන් දීර්ඝ කාලයක සිට මෙම මස් ජාවාරමේ යෙදී ඇති බව අනාවරී වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් එළඹෙන අගෝස්තු 18 වන දින අරණායක සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම වැටලීමේදී මුව මස් කිලෝග්‍රෑම් 10ක්, මදු 05ක්, මුව සම සහ මුවාගේ හිස නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ දැඩි ලෙස ආරක්ෂිත සතුන් දඩයම් කිරීම වැළැක්වීම සඳහා වනජීවී නිලධාරීන් විසින් මෙպෙර නිරන්තර මුර සංචාර සහ වැටලීම් සිදු කරනු ලබයි.
මෙම සාර්ථක වැටලීම බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ වනසත්ත්ව අඩවි සහකාර කේ.පී. උදය කරුණානායක, ඩබ්.ඒ.යූ.වී. ජයසේන, ක්ෂේත්‍ර සහායක කේ.ඒ.එන්. කස්තුරිආරච්චි සහ ඩී.ඩබ්. අනුර ජයතිස්ස යන මහත්වරුන් විසින් සිදු කර ඇත.














