ඓතිහාසික බහුතර බලයකින් බලයට පත්ව වසරක් ගතවීමටත් මත්තෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාමර් (Keir Starmer) මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එල්ල වන පීඩනය දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. ඔහුගේම කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් සහ ලේබර් පක්ෂයේ (Labour Party) පසුපෙළ මන්ත්‍රීවරුන් ඔහුට එරෙහිව නැඟී සිටින පසුබිමක, අග්‍රාමාත්‍යවරයා සිය ඉදිරි දේශපාලන තීන්දු සම්බන්ධයෙන් බිරිඳ සමඟ සාකච්ඡා කිරීමට සති අන්තයේ නිවස බලා ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. කොන්සර්වේටිව් පාලනයෙන් බිඳ වැටුණු බ්‍රිතාන්‍යය ගොඩනැඟීමට අපොහොසත් වීම, දකුණෙන් ‘රිෆෝම්’ (Reform UK) පක්ෂයත්, වමෙන් ‘ග්‍රීන්ස්’ (Greens) පක්ෂයත් ලේබර් පක්ෂයේ ඡන්ද පදනම ඩැහැගැනීම සහ මැකල්ස්ෆීල්ඩ් (Makerfield) අතුරු මැතිවරණයෙන් ඇන්ඩි බර්න්හැම් (Andy Burnham) ලැබූ දැවැන්ත ජයග්‍රහණය මෙම අර්බුදයට ප්‍රධාන හේතු වී ඇත. යම් හෙයකින් ස්ටාමර් මහතා ධුරයෙන් ඉවත් වුවහොත් ලේබර් පක්ෂයේ මීළඟ නායකත්වය සහ අගමැති ධුරය සඳහා ඇන්ඩි බර්න්හැම්, හිටපු සෞඛ්‍ය ලේකම් වෙස් ස්ට්‍රීටින් (Wes Streeting) හෝ නියෝජ්‍ය අගමැතිනී ඇන්ජෙලා රේනර් (Angela Rayner) පත්වීමට වැඩි ඉඩක් පවතින බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වුවත්, දශකයක් තුළ අගමැතිවරුන් හය දෙනෙකු දැක ඇති බ්‍රිතාන්‍ය මහජනතාව තවත් නොතේරී පත්වන නායකයෙකු පිළිගැනීමට සූදානම් නැති අතර, නව නායකයාට ද එරට පවතින ආර්ථික සහ සෞඛ්‍ය (NHS) අර්බුද විසඳීම දැඩි අභියෝගයක් වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















