බ්‍රිතාන්‍යයේ හිටපු අමෙරිකානු තානාපති පීටර් මැන්ඩෙල්සන් (Peter Mandelson) පත්කිරීමට අදාළ ආරක්ෂක පරීක්ෂණ (Security Vetting) ක්‍රියාවලියේදී සිදු වූ බරපතල දෝෂයක් හේතුවෙන් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් සහ විදේශ ලේකම් ඉවෙට් කූපර් එම නිලධාරියා කෙරෙහි පැවති විශ්වාසය බිඳවැටීම මීට හේතුවී තිබේ.
පීටර් මැන්ඩෙල්සන් තානාපති ධුරයට පත්වීමට පෙර අවශ්‍ය ආරක්ෂක නිෂ්කාශන ලබා ගැනීමට අපොහොසත් වී තිබුණද, විදේශ අමාත්‍යාංශ නිලධාරීන් විසින් එම නිර්දේශ නොසලකා හරිමින් ඔහුට අවසර ලබා දී ඇති බව හෙළි වී තිබේ. ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් (Jeffrey Epstein) සමඟ පැවති සබඳතා සහ රජයේ රහස් ලේඛන කාන්දු කිරීමේ චෝදනා මත මැන්ඩෙල්සන් මේ වන විට පොලිස් පරීක්ෂණවලට ද මුහුණ දී සිටී.
මෙම පත්වීම පිළිබඳව තමා දැනුවත් නොවූ බව පවසන අග්‍රාමාත්‍ය ස්ටාර්මර් ඒ පිළිබඳව සමාව අයැද සිටියද, විපක්ෂය විසින් ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් සිටියි. මැන්ඩෙල්සන් විසින් සිය සබඳතා පිළිබඳව “මුසාවන් මාලාවක්” නිර්මාණය කර ඇති බවට අග්‍රාමාත්‍යවරයා චෝදනා කරන අතර, මෙම පත්වීම සිදු වූ ආකාරය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා අදාළ ලේඛන ප්‍රසිද්ධ කිරීමට ද පොරොන්දු වී තිබේ.














