27 April 2024
#දේශීය

එජාපය දෙකඩ වෙයි – රනිල් අලියාගෙන් – සජිත් දුරකථනයෙන්

ඊයේ (01) පැවති එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව එජාපය දෙකඩවීමේ පැහැදිලි ඉඩක් මතුව ඇති බව අප දේශපාලන වාර්තාකරු පවසයි.

 
ඊට අනූව ඊයේ රැස්වීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශවයේ ස්ථාවරය වී ඇත්තේ ඉදිරියේ එන මහ මැතිවරණය සඳහා අලියා ලකුනින් තරග කළ යුතු බවයි.
 
නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පාර්ශ්වය පවසා ඇත්තේ මහ මැතිවරණය සඳහා අලියා ලකුණ වෙනුවට වෙනත් පොදු ලකුණක් යොදා ගැනීමට අවශ්‍ය බවය. ඒ අනූව ඔවුන් දුරකථනය හෝ වෙනත් ලකුණක් සඳහා යොමුවිය යුතු බව පවසා ඇත.
 
කෙසේ වෙතත් රනිල් ප්‍රමුඛ ඔහුගේ පාර්ශ්වය කොහෙත්ම ඊට එකඟව නැති අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් බහුතරය ද අලියා ලකුණ වෙනුවෙන් පෙනීසිට ඇත.
 
රනිල් මතය කියයි 
 
ඊයේ පැවති රැස්වීමෙන් පසුව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ ඊලඟ මහ මැතිවරණය වෙනුවෙන් අලියා ලකුණ යටතේ තරග කිරීමට බහුතරය එකඟවූ බවය.
 
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් බහුතරය එම මතය නියෝජනය කරන බවත් එහිදී පවසා ඇත.
 
සජිත්ගෙන් නිවේදනයක් 
 
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පාර්ශ්වය එජාප නායකයාගේ මතය ප්‍රතික්ෂේප කරයි.
 
එකගතාවයකින් තොරව කෘත්‍යාධිකාරී රැස්වීම අවසන් මැයෙන් ඔවුන් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇති අතර ඒ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
 
” අද(01) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමද නිමාවූයේ එළැබෙන මැතිවරණයට තරග කරන සන්ධානයේ ‘ලකුණ”පිළිබදව එකගතාවයකින් නොවේ.
 
නව සන්ධානය සදහා අලියා ලකුණ සම්මත කරගත් බවට ඇතැම් පාර්ශව ගෙන යන ප්‍රචාරය සත්‍යයෙන් තොර වන අතර එම ප්‍රචාරයන් සියල්ල එම ප්‍රචාරයන්ටම අදාල පිළිකුලද සහිතව ප්‍රතික්ෂේප කරමු.
 
අලියා ලකුණ සන්ධානයට ලබා දෙන්නේනම් ඊට එක හෙලා අප එකග නමුත් ,ඊට යහපත් ප්‍රතිචාරයක් කෘත්‍යාධිකාරීයෙන් ලැබුණේ නැත. ඒ වෙනුවට  තර්ක ඉදිරිපත් වූවා මිස එකගතාවයක් ඇතිකර ගැනීමේ අවම අපේක්ෂාව හෝ ඔවුන්ට තිබුණේ නැත.නිෂ්පල වාද විවාද මැද කෘත්‍යාධිකාරී රැස්වීම හමාර වූ අතර පලදායි නොවන කාරණා මත එල්බගෙන කල්මරමින් සිටීමෙන් සිදුවන්නේ ජන පීඩක ආණ්ඩුවට එරෙහිව කදවුරු බැදීමට කාලය අවහිර වීමය.
 
මේ අතර මාර්තු(2)පැවැත්වීමට නියමිත ‘සමගි ජනබලවේගයේ ‘සමාරම්භක උත්සවය කිසිදු වෙනසකින් තොරව පැවැත්වෙන බවද ,එකී මහජන බලවේගය මෙරට දැවැන්තම ජන බලවේගය බවට පත් කිරීමේ ජයග්‍රාහී අභියෝගය සඵල කරගන්නා බවද සිහිපත් කරමු.
 
 
විපක්ෂ නායක මාධ්‍ය අංශය-“
 
පක්ෂය බෙදීම තහවුරු වෙයි 
 
මේ අතර සමගි ජන බලවේගය ගොඩනැගීම වෙනුවෙන් වන විශේෂ උත්සවයක් අද (02) පැවැත්වෙන අතර ඒ තුළ තම ස්ථාවරය පාක්ෂිකයන් වෙත දැන්වීමට නියමිත බවත් වාර්තා වෙයි.
 
දැනටමත් එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානය නියෝජනය කළ කුඩා පක්ෂ ගණනාවක් සමගි ජන බලවේගය සමග සන්ධාන ගතව ඇත.
 
ඒ අනූව රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශවය නොතකා මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගය සූදානම් වනු ඇති බවත් වාර්තා වෙයි.
 

Leave a comment

Your email address will not be published. Required fields are marked *