අමෙරිකාව සහ ඉරානය අතර අත්සන් තැබුණු නව එකඟතාවත් සමඟ ලෝක දේශපාලනය පමණක් නොව, කලාපීය ආර්ථික කලාපයන් ද දැඩි සලිත වීමකට ලක්ව ඇත. විශේෂයෙන්ම ටෙහෙරාන් සහ ටෙල් අවිව් කොටස් වෙළෙඳපොළවල් මේ වන විට එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්, ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයන් දක්වමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉරානයේ ටෙහෙරාන් කොටස් වෙළෙඳපොළ මුළුමනින්ම පාහේ හරිත වර්ණයෙන් (Green) බැබළෙමින් ඉහළ යමින් පවතී. එහිදී රසායනික ද්‍රව්‍ය අංශය (Chemicals) 42%-50% කින් පමණ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර බැංකු, ලෝහ සහ කර්මාන්ත අංශයන් ද ශීඝ්‍ර වර්ධනයක් (Rally) පෙන්නුම් කරයි. වසර ගණනාවක් පුරා පනවා තිබූ සම්බාධක ඉවත් වීම, අත්හිටුවා තිබූ වත්කම් නිදහස් වීම සහ මෙතෙක් කල් සිරවී තිබූ ආර්ථිකය යළි පණ ගැන්වීම ඉරාන වෙළෙඳපොළ මෙලෙස උද්යෝගයෙන් වැළඳගෙන තිබේ.
එයට හාත්පසින්ම වෙනස්ව ඊශ්‍රායලයේ ටෙල් අවිව් කොටස් වෙළෙඳපොළ මුළුමනින්ම පාහේ රතු වර්ණයෙන් (Red) සනිටුහන් වෙමින් දැඩි කඩා වැටීමක පවතී. එහිදී ඊශ්‍රායලයේ විශාලතම ආරක්ෂක සැපයුම් සමාගම වන ‘Elbit Systems’ සමාගමේ කොටස් අගය 7.56% කින් පහත වැටී ඇති අතර මුදල්, තාක්ෂණික සහ කාර්මික අංශයන් ද දැඩි ලෙස බිඳ වැටෙමින් (Bleeding) ඇත. මෙම ගිවිසුම හරහා ඊශ්‍රායලයේ හමුදාමය ක්‍රියාමාර්ග සීමා වීම, ඉරානයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබීම සහ හිස්බුල්ලා සංවිධානයේ අවිහරණ ගැටලුවලට විසඳුම් නොලැබීම ඊශ්‍රායල වෙළෙඳපොළේ මෙලෙස පසුබෑමකට හේතු වී තිබේ.
රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන සැබෑ යථාර්ථය මේ වන විට කොටස් වෙළෙඳපොළ ප්‍රස්ථාර (Charts) මඟින් මනාව නිරූපණය වන බවත්, මෙම ගිවිසුමෙන් ඉරානය තමන් ජයග්‍රහණය කළ බව සිතන අතර ඊශ්‍රායලය තමන්ට අවාසි වූ බව සිතන බවත් විචාරකයෝ පවසති.
















