විදේශීය සිසුන් සහ මාධ්‍යවේදීන් ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින කාලය සීමා කිරීමට ට්‍රම්ප් පරිපාලනය ඉදිරිපත් කළ නව වීසා නීති ක්‍රියාත්මක කිරීම ඇමරිකානු ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.
District Judge Dennis Saylor විසින් ලබාදුන් මූලික තහනම් නියෝගය හේතුවෙන්, නව වීසා නීති ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දිනයට පෙර එම ක්‍රියාමාර්ගය අත්හිටුවීමට සිදුව ඇත.
යෝජිත නව නීති යටතේ විදේශීය සිසුන්ට ශිෂ්‍ය වීසා මත උපරිම වශයෙන් වසර හතරක් දක්වා ඇමරිකාවේ රැඳී සිටීමට අවසර ලබාදී, ඉන් අනතුරුව වීසා දිගු කිරීම සඳහා අයදුම් කිරීමට සිදුවීමට නියමිතව තිබිණි.
මීට පෙර විදේශීය සිසුන්ට තම අධ්‍යයන කටයුතු අවසන් වන තෙක් ඇමරිකාවේ රැඳී සිටීමට හැකි වූ බව සඳහන් වේ.
එමෙන්ම විදේශීය මාධ්‍යවේදීන්ගේ රැඳී සිටීම දින 240කට හෙවත් මාස අටකට පමණ සීමා කිරීමටද නව නීති යටතේ යෝජනා කර තිබූ අතර, එම කාලය අවසන් වූ පසු සමාන කාලයකට වීසා දිගු කිරීම සඳහා අයදුම් කිරීමට හැකියාව ලබාදීමට නියමිතව තිබිණි.
චීන මාධ්‍යවේදීන් සඳහා එම රැඳී සිටීමේ කාලය දින 90කට සීමා කර, තවත් දින 90ක කාලයක් සඳහා දිගු කිරීමට අවස්ථාව ලබාදීමට යෝජනා කර තිබේ.
විශ්වවිද්‍යාල, ගුරුවරුන් සහ මාධ්‍යවේදීන් නියෝජනය කරන වෘත්තීය සමිති එකතුවක් මෙම වීසා සීමාවන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.
විනිසුරු Dennis Saylor නව නීති ක්‍රියාත්මක කිරීම මේ වනවිට අත්හිටුවා ඇති අතර, නඩුවේ අවසන් කරුණු සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදී නොමැත. වැඩිදුර විභාගයක් ඔක්තෝබර් 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
විනිසුරුවරයා පෙන්වා දී ඇත්තේ වර්තමාන ක්‍රමය හරහා විදේශීය සිසුන්, පර්යේෂකයන් සහ විද්වතුන් ඇමරිකාවට පැමිණීමෙන් විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසකට සැලකිය යුතු ප්රතිලාභ ලැබී ඇති බවයි.
නව ක්‍රමය යටතේ වීසා දිගු කිරීම් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනා කිරීමට අවස්ථාවක් නොමැති වීම පිළිබඳවද විනිසුරුවරයා සිය අවධානය යොමු කර තිබේ.
ජාතික ආරක්ෂාව හේතුවෙන් මෙම නව සීමාවන් හඳුන්වාදෙන බව ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණද, එම කරුණ සම්බන්ධයෙන් විනිසුරුවරයා දැඩි සැකයක් පළ කර ඇත.














