වසර දශකයකට අධික කාලයක් තිස්සේ නයිජීරියාවේ සිට පැමිණෙන නෞකා සඳහා ඇමරිකාව විසින් පනවා තිබූ ආරක්ෂක සීමා ඉවත් කර ඇති බව සමුද්‍රීය හා නිල් ආර්ථික අමාත්‍ය අඩෙග්බොයේගා ඔයෙටෝලා ප්‍රකාශ කර තිබේ.
2014 ජුනි මාසයේදී ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය විසින් හඳුන්වා දෙන ලද ‘ප්‍රවේශ කොන්දේසි’ නම් මෙම සීමා කිරීම් යටතේ, නයිජීරියානු වරායන් වෙත ගොස් ඇමරිකානු ජල තීරු වෙත ඇතුළු වන නෞකා අමතර ආරක්ෂක පියවරයන්ට අනුකූල වීම සහ දැඩි පරීක්ෂාවන්ට ලක්වීම අනිවාර්ය කර තිබුණි. එරට වරායන්හි ආරක්ෂක විධිවිධානවල පැවති දුර්වලතා හේතුවෙන් මෙම පියවර ගෙන තිබූ නමුත්, සමුද්‍රීය ආරක්ෂක රාමුව සහ ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්ෂක කේතය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් දියුණු වීම හේතුවෙන් මේ වන විට එම සීමා ඉවත් කර ඇත.
මෙම තීරණය හේතුවෙන් නැව්ගත කිරීමේ පිරිවැය අඩුවනු ඇති අතර, නයිජීරියානු වරායන් ජාත්‍යන්තර නැව් සමාගම් සඳහා වඩාත් ආකර්ෂණීය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














