ඇමරිකා එක්සත් ජනපදය තුළ නීතිවිරෝධී ලෙස හෝ තාවකාලිකව රැඳී සිටින විදේශිකයන්ට දාව එරට පසෙහි උපදින දරුවන්ට ස්වයංක්‍රීයව ලැබෙන පුරවැසිභාවය (Birthright Citizenship) අහෝසි කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කර තිබූ විධායක නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අද (30) ප්‍රකාශයට පත් කරන ලද මෙම ඓතිහාසික තීන්දුවේදී විනිසුරුවරුන් 6-3ක් ලෙස බහුතර ඡන්දයෙන් තීන්දු කර ඇත්තේ, ට්‍රම්ප් පරිපාලනයේ මෙම උත්සාහය ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයට පටහැනි බවයි.
ට්‍රම්ප් පරිපාලනය අධිකරණය හමුවේ තර්ක කර තිබුණේ ස්ථිර පදිංචියක් නොමැති විදේශිකයන්ගේ දරුවන්ට උපතින්ම ඇමරිකානු පුරවැසිභාවය හිමි නොවිය යුතු බව වුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇමරිකානු භූමිය තුළ උපදින සියලුම දරුවන්ට එම අයිතිය හිමිවන බව ප්‍රධාන විනිසුරු ජෝන් රොබට්ස් (John Roberts) ප්‍රමුඛ බහුතර විනිසුරු මඬුල්ල අවධාරණය කළහ.
මෙම විධායක නියෝගය ක්‍රියාත්මක වූයේ නම් ඇමරිකාවේ වසරකට උපදින ලක්ෂ සංඛ්‍යාත දරුවන් පිරිසකට සිය පුරවැසි අයිතිය අහිමි වීමේ අවදානමක් පැවතිණි. සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින වටපිටාවක, එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මෙම තීන්දුව ට්‍රම්ප් පරිපාලනය ලැබූ විශාල පසුබෑමක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
















