මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු මෙන්ම හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂවරයෙකු වූ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 86 වන වියේ පසු විය. මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයෙන් ගෞරව උපාධියක් සහ පශ්චාත් උපාධියක් හිමිකරගත් ප්‍රථම විද්‍යාර්ථයා ලෙස ඉතිහාසයට එක්වන ලක්දුසිංහ මහතා ක්ෂේත්‍රය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ විද්වතෙකි.
ශාස්ත්‍රීය පර්යේෂකයෙකුට අමතරව කවියෙකු සහ කෙටිකතාකරුවෙකු ලෙස ද දස්කම් පෑ ඒ මහතා විදේශීය විශ්වවිද්‍යාල රැසකින් පශ්චාත් උපාධි ලබා තිබූ අතර ශාස්ත්‍රීය කෘති රැසක් ද දැයට දායාද කර ඇත. වාමාංශික දේශපාලන ක්‍රියාධරයෙකු ලෙස ද කටයුතු කළ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) පස්වරුවේ වේයන්ගොඩදී සිදු කිරීමට නියමිතය.














