27 April 2024
#දේශීය

ඡන්දය පොහොට්ටුව කිසිම බලපෑමක් නෑ .. අපි දිනනවා -මන්ත්‍රීනි කෝකිලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙන ඡන්දයකින් මනාපයක් රැගෙන ජයග්‍රහණය කළ පිරිස අද විපක්ෂයේ සිටීම පක්ෂයට කිසිම බලපෑමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂණි ගුණවර්ධන මහත්මිය පවසයි.

ඒ මහත්මිය මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂණි ගුණවර්ධන මහත්මිය, “ ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණ හැටියට ඉදිරි සති කිහිපය ඇතුළත අපි සුදානම්ව සිටිනවා නැවතත් ශ්‍රී ලංකා පොදුජන කාන්තා සම්මේලන ටික මුළු රටපුරාවටම පවත්වන්න. සෑම වර්ෂයකම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි අපේ අනුබද්ධ සංවිධාන සහ මව් සංවිධානවල සම්මේලන පවත්වන එක වාර්ෂිකව කරගෙන ගියා. පසුගිය වසරේ වගේම මේ වසරෙත් මේ මාසයේ විසිවෙනිදායින් පටන් අරගෙන අපේ කාන්තා සම්මේලන දිපව්‍යාප්තව පවත්වන්න සූදානම් කරලා තිබෙනවා. විශේෂයෙන්ම පක්ෂයක් විදිහට අපි දේශපාලන වැඩපිළිවෙළ ඉතාමත් සාර්ථකව කරගෙන යනවා. පළාත් පාලන මැතිවරණය පැහැදිලිව අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඕනෑම එන මැතිවරණයකට අපි සූදානමින් ඉන්නවා ජයග්‍රහණය කරන්න. ඒ සඳහා පෙලගැස්ම පක්ෂයක් විදිහට අපි මුල සිටම පවත්වගෙන ගියා. මම විශ්වාස කරනවා 2021,2022 කරපු සම්මේලනවලටත් වඩා සාර්ථක කාන්තා සම්මේලන මාලාවක් අපිට 2023 කරන්න පුළුවන්කම තිබෙනවා කියලා. පක්ෂයක් හැටියට අපි මැතිවරණයට සූදානම්. තැපැල් ඡන්දය කල්දාලා තිබෙනවා මැතිවරණ කොමිසම් සභාව. මැතිවරණ කොමිසම ඡන්දය පවත්වනවා කියන ඕනෑම අවස්ථාවක අපි ඡන්දයට සූදානමින් සිටිනවා. කවුරු මොන විදිහට කිව්වත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි මැතිවරණයට බයේ සිටින පක්ෂයක් නොවේ. පැහැදිිලිවම ඕනෑම මැතිවරණයකට සූදානම්. 2018 මැතිවරණයේදී බොහෝ පිරිසක් කිව්වා අපි පරදිනවා කියලා. නමුත් අපි අති විශිෂ්ඨ ජයක් ලැබුවා. ඒ වගේම ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කෙරුවා. එන පළාත් පාලන මැතිවරණයත් අපි අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා. ඒ සඳහා ගම්වල ජනතාව සූදානමින් සිටිනවා. යම් යම් පක්ෂ භීෂණය වපුරලා මැතිවරණය තුළ වාසි ගන්න හැදුවත් පැහැදිලිව ජනතාව දන්නවා මේ රටට වැඩකරපු පක්ෂය, වැඩ කරපු නායකයෝ කවුද කියලා. ඒ නිසා මේ මැතිවරණය ඕනෑම අවස්ථාවක ජයග්‍රහණය කරන්න අපි පක්ෂයක් හැටියට සූදානමින් සිටිනවා. අපි තමයි මුලින්ම ඇප තැන්පත් කළේ. ඒ වගේම මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළත් සකස් කරලා ක්‍රියාත්මක කෙරුවා. මේ කාන්තා සම්මේලන මාලාව ක්‍රියාත්මක කිරිමෙන් පසු අපි සූදානමින් සිටිනවා රට වටේම අපේ ප්‍රධාන රැස්වීම්මාලාවට යන්න . මේ සියල්ලත් එක්කම පැහැදිලි නිවැරදි ජයග්‍රහණ මාවතක අපි ඉන්නවා. හෙළිකොප්ටරේ ඉන්න පිරිසත් අනිත් පක්ෂවල ඉන්න පිරිසත් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණය තරඟය කළේ අපෙන්. ඒ පිරිසට ශක්තියක් තිබුණනම් තනිව ජයග්‍රහණය කරන්න ඒ පිරිස අපිත් එක්ක එකතුවෙන්නේ නෑ නේ. ඒ නිසා මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් ඒ අයට දැන ගන්න පුළුවන් තම තමන්ගේ පක්ෂ කොතනද තිබෙන්නේ කියලා. අපිත් මේ මැතිවරණය තිබෙනකන් බලාගෙන ඉන්නේ ඒ පිරිසට තේරුම් යන අවස්ථාව එන්නේ මේ මැතිවරණයෙන් තමයි. කවුරු මොන විදිහට කැඩිලා වෙන්වෙලා ගියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය කිසිම අවස්ථාවක බිඳ වැටිලා නෑ. ඒ පිරිස අපේක්ෂකයෝ හොයාගත්තේ බොහෝම අමාරුවෙන් නේ. කවුරු මොන විදිහට සමාජ ජාලාවල දැගලුවත් මොන විදිහට කතා කලත් අවසානයේ බිම් මට්මේ මතය එතන නොවේ. ඔවුන් සිටින්නේ පැහැදිලිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක. මේ රටේ අධිවේගී මාර්ගය ඉඳන් ගමේ පාර දක්වා හැදුවේ, මේ රට සංවර්ධනය ගෙනිච්චේ කවුද කියලා මිනිස්සු දන්නවා. මේ සංවර්ධනය දකින මිනිස්සුන්ට කෙලෙහිගුණ අමතක නෑ. රට සංවර්ධනය කරන්න පුළුවන් පක්ෂය මොකක්ද කියන එක මිනිස්සු දන්නවා. ඔය සියලු මත විත බිඳදාලා අපේ ස්ථාවරය රටට පෙන්වන්න දවසක් එනවා. අපේ හිටපු ඔය හැම කෙනෙකුම තමන්ගේ මැතිවරණය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ පිහිටෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැටෙන ඡන්දයකින් මනාපයක් අරගෙන තමයි ඒ පිරිස ජයග්‍රහණය කෙරුවේ. මම විශ්වාස කරන හැටියට එහෙම කිසිම බලපෑමක් පොදුජන පෙරමුණට නෑ.
පැහැදිලිව දේශපාලන‍ය තුළ සදාකාලික මිතුරෝත්, සදාකාලික සතුරෝත් නෑ. ඉතින් සමහර අවස්ථාවක හෙළිකොප්ටරේ ඉස්සෙන්නේ නැතිවෙනකොට පොහොට්ටුව පැත්තට හැරෙන්නත් පුළුවන්. අපි දන්නේ නැ ඒක.”යැයි මන්ත්‍රීනි කෝකිලා හර්ෂණි ගුණවර්ධන මහත්මිය වැඩිදුරටත් පවසා සිටියාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *