1970 සහ 80 දශකයන්හි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තරයට රැගෙන ගිය විශිෂ්ටතම දුර ධාවකයෙකු වූ විශ්‍රාමික මේජර් ඩබ්ලිව්.ජී. ආරියසේන මහතා අද (13) උදෑසන මාතලේ නගරයේ දී සිදුවූ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 74 හැවිරිදි වියේ පසුවිය.
1980 සිට 1989 දක්වා වසර 9ක් පුරා මීටර් 1500 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ ආරියසේන මහතාය. 1976 සිට 1980 දක්වා නොකඩවා පස් වතාවක්ම ජාතික මැරතන් ශූරතාව දිනා ගැනීමට ඔහු සමත් වූ අතර, 1982 ඉන්දීය ආසියානු ක්‍රීඩා උළෙල සහ 1987 සිංගප්පූරු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය නියෝජනය කරමින් මව්බිමට අභිමානයක් ගෙන දුන්නේය. ඊට අමතරව 1979 සිට 1984 දක්වා කාලය තුළ මීටර් 5000 සහ 10000 ඉසව්වන්හි ද කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ජාතික මට්ටමේ කීර්තියක් අත්කර ගත්තේය.
70 දශකයේ අග භාගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවට (ස්වේච්ඡා බළකාය) එක්වූ ඔහු, 1980 වසරේ සිට ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා නිලධාරිවරයෙකු ලෙස සේවය කළේය. ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ද වසර 35කට අධික කාලයක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ විනිසුරුවරයෙකු ලෙස සහ ජාතික තාක්ෂණික නිලධාරීවරයෙකු ලෙස ඔහු සිදුකළ සේවය ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළ ගෞරවයට පාත්‍ර විය.
මාතලේ නාඋල ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්.ජී. ආරියසේන මහතා දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි. මෙරට ක්‍රීඩා ඉතිහාසය වෙනුවෙන් විශාල කැපවීමක් කළ ඒ මහතාගේ අභාවය සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයටම සිදුවූ විශාල පාඩුවකි.















