27 April 2024
#ව්‍යාපාර

දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ආනයනික නිෂ්පාදනවල මිල මෙන් නොව සහල් වැනි දේශීය නිෂ්පාදනයන්හි මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක පවත්වාගෙන යාම කළ නොහැක්කක් නොවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(14) කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සමෘද්ධිලාභී වනිතාවන් පිරිසකට ස්වයංරැකියා උපකරණ බෙදා දීමේ අවස්ථාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය. “අප පමණක් නොවෙයි දියුණු රටවල් ඇතුළු මුළුමහත් ලෝකයම මෙම වසංගත තත්වය නිසා අනපේක්ෂිත ආර්ථික අර්බුදයන්ට මුහුණ දී සිටිනවා. එවැනි අවස්ථාවකයි මේ රටේ සමෘද්ධි ව්‍යාපාරය හා බද්ධ වී කටයුතු කරන කාන්තාවන්ගේ ජීවනෝපාය මාර්ග වඩාත් දියුණු කර ගැනීම සඳහා කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් මෙසේ ඔවුන්ට ශක්තියක් ලබා දෙන්නේ. එය ඉතා වැදගත්. අද අපේ රටේ කාන්තාව ශ්‍රම වෙළෙඳපොළ තුළ ඉතා විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ බැලුවත් කාන්තාවගේ සහභාගීත්වය වැඩියි. ඒ වගේම රාජ්‍ය සේවය තුළ බැලුවත් කාන්තා පාර්ශ්වයේ දායකත්වය වැඩියි. ඒ හැම දෙයකින්ම කියැවෙන්නේ අපේ ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයේ දී මීට දශක දෙක තුනකට කලින් කාන්තාවට හිමි තැනට වඩා ප්‍රබල තත්වයක් වර්තමානයේ දී ඇය නියෝජනය කරන බවයි. අපේ ආර්ථික ගමන මෙන්ම ඊළඟ පරම්පරාවේ ගුණ සුවඳ තීරණය වන්නේත් කාන්තාවගේ අතින්.

මේ මොහොත කියන්නේ අපි කවුරුත් ජීවන බරකට මුහුණ දී සිටින අවස්ථාවක්. මේක සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඇතැම් භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ ගිය අවස්ථාවක්. මිල ඉහළ ගිය ඇතැම් භාණ්ඩවල මිල රජයක් හැටියට අපට පාලනය කර ගැනීමට බැරි හේතු තිබෙන්න පුළුවන්. නමුත් සමහර ඒවාට අපට විසඳුම් සෙවිය හැකිව තිබෙනවා. යුරෝපයට ශීත කාලය ළං වන විට ලෝකයේ ගෑස් සහ තෙල් මිල ස්වාභාවිකවම ඉහළ යනවා. මේ වසංගත තත්වයත් සමග එය දෙගුණ තෙගුණ වෙනවා. නැව් ගාස්තු මේ කෙටි කාලය තුළ සියයට 25කින් ඉහළ ගොසින්. ඒ සමගම අපේ රුපියල ක්‍රමානුකූලව කඩා වැටී තිබෙනවා. ඒ සියල්ල බලපානවා අපි ආනයනික නිෂ්පාදන පරිභෝජනයේදී ඒවාගේ මිල තීරණය වීමට.

එහෙත් දේශීය වශයෙන් නිපදවනු ලබන දේවල්වල මිල එසේ ඉහළ යාමට ඉඩ නොදී එක්තරා සහනදායක මට්ටමක පවත්වාගෙන යාමට අපට හැකි විය යුතුයි. එක්දහස්නවසිය හැත්තෑගණන්වල රජයට වී මෝල්, ගබඩා තිබුණා. පසුකාලීනව ඒවා විනාශ වුණා. අද රජය සතුව කිසිදු වී මෝලක්, ගබඩාවක් නැහැ. වී ටික අරගෙන සහල් බවට පත් කරලා දෙන ක්‍රමයක් රජය සතුව නැහැ. ඒ නිසා අද පෞද්ගලික අංශයේ බලවත් මෝල් හිමියන්ට පුළුවන් වී තිබෙනවා අපේ රටේ සහල් මිල තීරණය කිරීමට. ඒවා ලෝක වෙළෙඳපොළේ ප්‍රශ්න සමඟ ගැට ගැසී නැහැ. ඒවා අපට මුහුණ දීලා උත්තර හොයන්න පුළුවන් ප්‍රශ්න.

කොහොම වුණත් මේ දුෂ්කර අවස්ථාවේදී අපි එකිනෙකාට උදව් කර ගනිමින් ඉදිරියට යා යුතුව තිබෙනවා. මෙතැන අද සිදු කෙරෙන්නෙත් එවැනි දෙයක්. මෙතැනදී බෙදා දෙනු ලබන ස්වයංරැකියා උපකරණ නිසි පරිදි භාවිතා කොට තමන් දියුණු වන ගමන් තවත් කෙනෙකුට රැකියාවක් උපදවා දිය හැකිනම් එයයි ඔබට කළ හැකි විශාල ම සේවාව. එසේ කිරීමට ඔබට හැකියාව ලැබේවා’යි පතනවා.”යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් කඩුවෙල ප්‍රාදේශීය ලේකම්, චතුර මිහිදුම්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අසේල කුමාර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *