ලෝක මැරතන් ඉතිහාසය අලුත් කරමින්, නිල තරගයක් තුළ පැය දෙකකට අඩු කාලයකින් මැරතන් දුර (කිලෝමීටර් 42.195) නිම කළ ලොව ප්රථම ක්රීඩකයා බවට කෙන්යාවේ සබැස්ටියන් සවේ අද (26) පත් විය. 30 හැවිරිදි සවේ ලන්ඩන් මැරතන් තරගය නිම කිරීම සඳහා ගත කළේ පැයයි මිනිත්තු 59යි තත්පර 30ක විශ්මිත කාලයකි.
මෙම ජයග්රහණයත් සමඟ 2023 වසරේදී අභාවප්රාප්ත වූ කෙල්වින් කිප්ටම් තබා තිබූ පැය 2:00:35ක ලෝක වාර්තාව මිනිත්තුවකට වඩා වැඩි කාලයකින් බිඳ දැමීමට සවේ සමත් විය. මීට පෙර එලියුඩ් කිප්චෝගේ පාලිත තත්ත්වයන් යටතේ පැය දෙකේ සීමාව පසු කළ ද, නිල ලෝක වාර්තාවක් ලෙස එය පිළිගනු නොලැබූ බැවින් සවේගේ මෙම දක්ෂතාව ක්රීඩා ලොව සදාකාලික මතකයක් වනු ඇත.
තරගයේ කැපී පෙනෙන ලක්ෂණය වූයේ සවේ දෙවන භාගයේදී දැක්වූ සුපිරි වේගයයි. පළමු භාගය මිනිත්තු 60:29කින් නිම කළ ඔහු, දෙවන භාගය මිනිත්තු 59:01ක කාලයකින් නිම කරමින් ප්රේක්ෂකයින් මවිතයට පත් කළේය. සවේට අමතරව දෙවන ස්ථානය දිනාගත් යොමිෆ් කෙජෙල්චා (1:59:41) සහ තෙවන ස්ථානය දිනාගත් ජාකොබ් කිප්ලිමෝ (2:00:28) යන ක්රීඩකයින් දෙදෙනාම පැරණි ලෝක වාර්තාවට වඩා වේගවත්ව තරගය නිම කිරීම මෙම තරගයේ තිබූ දැඩි තරගකාරිත්වය මැනවින් පෙන්නුම් කරයි.














