රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් වීසා බලපත්‍රලාභී ශිෂ්‍යයන් (වීවරධාරීන්) විසිදෙදෙනා ලබන මැයි මස 03 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය අද (26) අවසර ලබා දුන්නාය.
සැකකාර සිසුන් පිරිස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලිසිය පෙන්වා දුන්නේ මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය පිටුපස සිටින ප්‍රධාන මෙහෙයවන්නන් සහ මෙරට බෙදාහැරීමේ ජාලය අනාවරණය කර ගැනීම සඳහා මොවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ යුතු බවයි. විදේශ රටක සිට මෙරටට පැමිණි මෙම පිරිස සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය තොගය සොයාගනු ලැබුවේ රේගු නිලධාරීන් සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.
මෙම සිසුන් පිරිස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ප්‍රවාහනකරුවන් ලෙස (Mules) යොදාගෙන ඇති බවට සැක කෙරෙන අතර, ඔවුන් මෙරට කුමන ආයතනවල අධ්‍යාපනය ලබන පිරිසක්ද යන්න පිළිබඳව ද මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන් මෙරට තරුණ පිරිස් සහ විදේශීය සිසුන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වීම පිළිබඳව ආරක්ෂක අංශ සිය දැඩි අවධානය යොමු කර තිබේ.














