27 July 2024
#දේශීය

නව අගමැති පත් කළේ ව්‍යවස්ථානුකුලවයි – ජනපති විදෙස් තානාපතිවරුන්ට කියයි

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඇතිවී තිඛෙන දේශපාලන තත්ත්වය පිළිබද විදෙස් තානාපතිවරුන්  සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමට ගත් තීරණයට හේතු වූ ඉකුත් රජයේ පැවති ගැටලූ සහගත තත්ත්වය පිළිබද මෙහිදී ජනාධිපතිවරයා එම තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කළේය.

විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වමින් සදහන් කර සිටියේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව සහ රට තුළ සාමය ආරක්ෂා වන පරිදි කටයුතු සිදු විය යුතු බව ඔවුන් අපේක්ෂා කරන බවයි.

රටේ පවතින ව්‍යවස්ථාවට අනුකූලව හා තමන් වෙත පැවරී ඇති බලතල අනුව අග්‍රාමාත්‍යවරයා පත්කිරීම සිදුකළ බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, නව රජය ලෙස නොබැදි පිළිවෙත අනුව සියලූ රටවල් සමග පවතින සබදතා තවදුරටත් ශක්තිමත් ව පවත්වාගෙන යාමට සහ රජයේ සංවර්ධන කටයුතු සදහා සෑම රටකම සහය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, සාමය සහ සියලූ ජාතීන් අතර සහජීවනය තව දුරටත් තහවුරු කරමින් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම නව රජයේ බලාපොරොත්තුව බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිටින සියලූම විදෙස් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් මෙම හමුවට එක්ව සිටි අතර, සරත් අමුණුගම සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් ද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද ඊට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *