27 July 2024
#දේශීය

රනිල් එලවලා මහින්ද ගෙන්න එපා – ජවිපෙ අනුර කියයි

තවත් දුෂිතයන්ට ඉඩකඩ ලබා නොදෙමින් ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාව පෙළගස්වන්නේ දුෂිතයින් වෙනුවට දුෂිතයින් කැඳවන දේශපාලනයකට නොවන බව රටේ ජනතාවට සහතික කරන බව එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) රට ගොඩනගන, රට රකින, ජනතාවාදී පාලනයක් ගොඩනගන්න අපි සූදානම් ජනතා විරෝධතාව අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අනුර දිසානායක මහතා“ රනිල් වික‍්‍රමසිංහලාට පුළුවන් වී තිබෙන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත උකස් කරන්නයි. මේ ජනතාවගේ ජීවිත අඟලකින් හෝ ඔසවා තබන්න මේ පාලකයින්ට හැකියාවක් නැහැ. ඔවුන්ගේත් ඔවුන්ගේ ප‍්‍රතිපත්තිවලත් අසාර්ථකභාවය අද ඔප්පු කොට තිබෙනවා. එමනිසා කිසිදු දෙගිඩියාවකින් තොරව මේ පාලනය පන්නා දැමීම සඳහා මේ රටේ ජනතාව පෙරට පැමිණිය යුතුව තිබෙනවා. ජනතාව පීඩාවට පත්කර තිබෙන මේ දුෂිත පාලනය. මහජනතාවගේ ධනය හොරාකන පාලනය පලවා හැරිය යුතුයි. ඒ වෙනුවෙන් අද පොදු ජනතාව සියලූ දෙනා පොදු සම්මුතියකට පැමිණිය යුතුව තිබෙනවා. ඔවුන් පන්නා දැමිය යුත්තේ කෙසේද? අපි මේ දුෂිතයන් පලවා හරින්න ඕනෑ, තවත් දුෂිතයන්ට ඉඩකඩ ලබා දෙමින් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාව පෙළගස්වන්නේ දුෂිතයින් වෙනුවට දුෂිතයින් කැඳවන දේශපාලනයකට නොවන බව අපි මේ රටේ ජනතාවට සහතික කරනවා. මේ පීඩාකාරී ආර්ථික ප‍්‍රතිපත්තිය පළවා හැරිය යුතුයි. ජනතා සහන කප්පාදු කරන, වරාය නැගෙනහර ජැටිය, තෙල් ටැංකි, කල්පිටිය දුපත් ඇතුළු රටේ සම්පත් විකුණන හැත්තෑ වසරක් පවත්වා ගෙන ආ කොල්ලකාරී ආර්ථික ප‍්‍රතිපත්තිය පරාජය කළ යුතුයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, රනිල් වික‍්‍රමසිංහ, මෛත‍්‍රීපාල සිරිසේන පවත්වා ගෙන ආ ජනතාව පීඩාවට පත්කරන ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහිව මේ රටේ ජනතාව පෙළගැසිය යුතුයි. මීට විසඳුම ඒ ආර්ථික ප‍්‍රතිපත්තිය අනුගමනය කරන රනිල් වික‍්‍රමසිංහගේ පාලනය පලවා හැර එම ආර්ථික ප‍්‍රතිපත්තියම කරගසා ගෙන යන මහින්ද රාජපක්ෂ කැඳවීම නොවන බව අපි රටේ ජනතාවට අවධාරණය කළ යුතුව තිබෙනවා.

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කඩා වැටිලානම්, බරපතළ හොරුන් අධිකරණය ඉදිරියේ බඩපිනුම් ගසනවානම්, සාමාන්‍ය ජනතාව පමණක් ද`ඩුවම් විඳින නීතියේ හා විධානයේ ආධිපත්‍යය කඩාවැටුණු පාලනයක් බිහිවී තිබෙනවානම්, අපට එවැනි වර්ගයේ පාලනයක් තවදුරටත් අවශය නැහැ. හැමදාම අධිකරණයට මැදිහත්වීම් කළා, අධිකරණ කියන්නේ මේ රටේ පාලකයින්ගේ කැමත්ත බවට පත් කළා. එවැනි අධිකරණ වෙනුවට ජනතාවට යුක්තිය සාධාරණය ඉටුවන, නීතියේ හා විධානයේ ආධිපත්‍යය ඉටුවන අධිකරණ පද්ධතියක් අපේ රටේ නිර්මාණය විය යුතුව තිබෙනවා. එහෙත් අද සිදුවෙමින් තිබෙන්නේ අධිකරණයට අත තබමින්, නීතියේ හා විධානයේ ආධිපත්‍යය කඩා වැට්ටවීමකුයි; පවුල් පාලනයන්ට දොරටු විවෘත කිරීමකුයි. මොහාන් පීරිස්ලා මහ පුටුවේ වාඩි කරපු එවැනි තත්වයක් නැවත අපේ රටේ තහවුරු කළ යුතු නැහැ. කිසිසේත් නැවත රාජපක්ෂ පවුල් පාලනයකට ඉඩ ලබා දිය යුතු නැහැ. රජපක්ෂලාගේ කළු ඉතිහාසය අපට අමතක නැහැ. රනිල් වික‍්‍රමසිංහගේ ක‍්‍රියාකාරකමුත් අපි අත්විඳිමින් ඉන්නවා.

ඒ නිසා රනිල්, මෛත‍්‍රී, මහින්ද තවදුරටත් කඳවුරු කිහිපයක් නෙමෙයි; ජනතාව පීඩාවට පත් කරන එකම කඳවුරක්. මේ ක\වුරට එරෙහිව මේ රටේ ජනතාව පෙළගැසිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි පොදු ජනතාවට ආරාධනා කරන්නේ මේ වෙනුවෙනුයි. අවුරුදු 70ක් අනුගමනය කරමින් ආ ආර්ථික ප‍්‍රතිපත්තිය, මේ දේශපාලනය, මේ ආණ්ඩු අසාර්ථක බව අද ඔප්පු කරමින් තිබෙනවා. ඒ වෙනුවට විකල්ප මාවතකට, රට ගොඩනගන මාවතකට අපේ රට අවතීර්ණ කළ යුතුව තිබෙනවා. ඒ නිසා රට ගොඩනගන ජනතා ව්‍යාපරයක් ගොඩනගන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව අපි තහවුරු කරනවා. මේ අප ඉදිරිපිට ඉන්නේ රට ගොඩනැගිය යුතු බලවේගයයි. මේ මාතෘ භූමියටත් මේ රටේ ජනතාවටත් අසීමිතව ආදරය කරන, මව්බිම අනතුරකට මුහුණ දෙද්දී හැමදාමත් පෙරට ආපු, ජනතාව පීඩාවට පත් වෙද්දී පාරට බැහැපු ජනතාවක් තමයි මෙතනට එක්රොක් වී තිබෙන්නේ. මේ ඉන්නේ කෑම පාර්සලේට, අරක්කු වීදුරුවට යටවන, ලයිට් කණුවල බඩගාන, බස් හෝල්ට්වල පෙරළිලා ආණ්ඩු පෙරළන්න හිතන පිරිසක් නෙමෙයි. විනයක් සහිත මේ රට ගොඩනැගීම පිළිබඳ අචල විශ්වාසයක් තිබෙන පිරිසක්. මේ රට ගොඩනැගිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කර ගත් බලවේගයකටයි. ඒ වෙනුවෙන් අපි කටයුතු ආරම්භ කළ යුතුයි.

පැරණි පන්නයේ තට්ටු මාරු ක‍්‍රමයකට අප ඉඩනොතැබිය යුතුයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අපි සූදානම් මේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් සකසීම සඳහා මැදිහත් වන්න. ඒ වගේම රට ගොඩනැගිය හැකි බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සමගයි. අපි මේ සටන දියත් කර තිබෙන්නේ, ඒ සූදානමින් තමයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *