27 April 2024
#දේශීය #පුවත්

අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර ගන්නවා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

අධ්‍යාපන ක්ෂේත්‍රයේ තනතුරු රැසක පවතින පුරප්පාඩු බොහෝ ප්‍රමාණයක් පිරවීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්න බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, උතුරු පළාතේ වවුනියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් සහ පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවති වැඩසටහනකට එක් වෙමිනි.

ඒ අනුව අධ්‍යාපන පරිපාලන, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ, ගුරු උපදේශක යන සේවාවල හා ගුරු සේවයේ නව පත්වීම් රැසක් ඉතා ඉක්මනින් ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා ඊට අමතර ව අතිරික්ත නිලධාරීන් සිටින සේවා ස්ථානවලින් ස්ථාන මාරුවීම් ලබා දීම හරහා නිලධාරී හිඟය පියවීමට කටයුතු කරන බව ද පැවසී ය.

ඉදිරියේ දී ඉතා කෙටිකලක් තුළ අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම් 460ක් පමණ බඳවා ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම පැවසීය.

එමෙන් ම නඩු කටයුතු නිසා 2019 වසරේ සිට යටපත් ව පැවති විදුහල්පති සේවයේ නව පත්වීම් 4,672ක් මේ වන විට ලබා දී ඇති බවත් එයින් 4,400ක් මේ වන විට වැඩ භාරගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අවස්ථාවට සම්මානිත මහාචාර්ය සිවා සිවනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස්, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් යන මහත්ම මහත්මීන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු ද එක් ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *