27 April 2024
#දේශීය #පුවත්

අනුරගේ බොරු සමීක්ෂණයේ ඇත්ත ලඟදීම හෙළි කරනවා- තුෂාර ඉඳුනිල්

ජාතික ජන බලවේගයට සියයට 50 ක ජනතා වරමක් තිබෙන බවට සඳහන් සමීක්ෂණ වාර්තාව පිළිබඳව විශ්වවිද්‍යාල මහාචාර්යවරු සහ ආචාර්යවරු තොරතුරු සොයාබලමින් සිටින බවත් එම සමීක්ෂණයේ බොරුව පිළිබඳව සමීක්ෂණ පිළිබඳ විශේෂඥයින් ළඟදීම හෙළි කිරිමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (08) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ‘‘ජාතික ජන බලවේගයට සියයට 50 ක ජන මතයක් තිබෙන බවට සඳහන් වන සමික්ෂණ වාර්තාවක් එළිදක්වලා තිබෙනවා. එයින් ඉන්දියාවත් නොමග යවලා තිබෙනවා. ද හින්දු පුවත් පත වගේ පුවත් පතක මෙවැනි දෙයක් පළ කරන්න තරම් බොරුවක් ඔවුන් ගුවන් ගතකරලා තිබෙනවා. මේ සමික්ෂණයට භාජනය කරලා තිබෙන්නේ පුද්ගලයින් 522 යි. පුද්ගලයින් 522 කින් ඉදිරිපත් කළ සමික්ෂණයක් තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. විද්‍යාත්මක සමික්ෂණයක තිබිය යුතු ලක්ෂණ , තෝරා ගතයුතු නියැදි , යොදා ගන්න ප්‍රශ්න විද්‍යාත්මක විය යුතුයි. මේ පුදගලයින් 522 තෝරා ගත්තේ කොහොමද , මොන ප්‍රදේශවලින්ද. මෙහි විද්‍යාත්මක ක්‍රමය කුමක්ද ?සමික්ෂණයට භාජනය කරන්න තෝරාගත් පුද්ගලයින් 522 නියැදිය කුමක්ද? ඔවුන්ගේ වෘත්තින් , ග්‍රාමිය ද , නාගරික ද , වයස් කාණ්ඩය , ස්ත්‍රී පුරුෂ භාවය මේ 522 ට ඇතුළත් වෙලා තිබෙනවද කියන කාරණය සොයන්න ඕන. මේ සමික්ෂණය ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරු අවශ්‍ය තොරතුරු සොයාබලමින් සිටිනවා. මේ සමීක්ෂණයේ බොරුව පිළිබඳව සමීක්ෂණ පිළිබඳ විශේෂඥයින් විසින් හෙළි කරන්න නියමිතයි. මේවා බාල උත්සාහයන්. සමගි ජන බලවේගය දවසින් දවස ශක්තිමත්වෙමින් අලුත් කණ්ඩායම් විවිධ පක්ෂ එකතු කරගනිමින් පිරිසිදු ගමනක ගමන් කරනවා. සමගි ජන බලවේගය සමඟ ඉදිරියේදී විශාල පිරිසක් එකතුවීමට නියමිතව තිබෙනවා. සමගි ජන බලවේගයට දක්ෂයින් , විවිධ වෘත්තිකයින් , වැඩකළ හැකි අය එකතුවෙනවාට අපි එකඟ වෙනවා. අපි ඔවුන්ව පිළිගන්නවා. මේ එකතුවීම් මහා කුණාටු හැටියට දකින පිරිසකුත් ඉන්නවා. පක්ෂය වෙනුවෙන් කැප කිරිම් කළ බොහෝ අය සිටියදී සරත් ෆොන්සේකාට සමගි ජන බලවේගයේ ඉහළම තනතුරක් ලබාදුන්නා. ඔහු තමන්ගේ දේශපාලන පරිනතභාවය මීට වඩා ඉහළ මට්ටමකින් පෙන්වයි කියන දේ අපි බලාපොරොත්තු වෙනවා. ඔහු යුද හමුදාවේ ඉහළම තනතුරින් පිදුම් ලැබුවට දේශපාලනයේදී ඉතාම පහළ මට්ටමේ නිලධාරියෙකු ලෙස තමයි හැසිරෙන්නේ. සරත් ෆොන්සේකා යුද හමුදාවේ දක්වපු පරිනතභාවය දේශපාලනය තුළත් දක්වන්න. දූෂණ චෝදනා නැති පිරිස හැර පිරිසිදු දක්ෂතා ඇති පුද්ගලයින් මගි ජන බලවේගයට සම්බන්ධ වෙනවාට අපි කැමතියි. අපිට පක්ෂයේ තිබෙන ස්ථාන වුණත් ඒ පුද්ගලයින්ට දෙන්න අපි කැමතියි. පක්ෂයට පැමිණෙන පුද්ගලයින් තමන්ට අභියෝගයක් ‍වෙයි කියලා හිතෙනවානම් එය දේශපාලන පරිණතභාවය නෙවෙයි. ආණ්ඩුව කිව්වා සජබවෙන් පිරිසක් එනවා එනවා කියලා. නමුත් ජනාධිපතිවරණය පෙනි පෙනි තිබියදි තවම සමගි ජන බලවේගයෙන් ගියපු පුද්ගයෙන් නෑ. සමගි ජන බලවේගයේ කිහිප දෙනෙක් දේශපාලනයේ පොදු වැඩවලට ජනාධිපති හමුවෙන්න ගියාට ඔවුන් සමගි ජන බලවේගය අතහැර ආණ්ඩුවට යන්නේ නෑ යැයි මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *