ශ්‍රී ලංකාව ද දළ දේශීය නිෂ්පාදිතය (GDP) මැනීමට අමතරව භූතානය වැනි රටවල් අනුගමනය කරන ‘දළ දේශීය සතුටුභාවය’ (Gross National Happiness – GNH) ගණනය කිරීමේ සුවිශේෂී ක්‍රමවේදයකට අවතීර්ණ විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ හුදෙක් භෞතික සම්පත් සහ ආර්ථික ඉලක්ක පමණක් හඹා යාමෙන් රටක සමස්ත සංවර්ධනය මැනිය නොහැකි බවයි. ඒ වෙනුවට ජනතාවගේ මානසික සුවතාවය, ගුණධර්ම, පරිසර සංරක්ෂණය සහ සංස්කෘතික අනන්‍යතාවය සුරැකෙන පරිදි ජන ජීවිතයේ සැබෑ සතුට සහ තෘප්තිමත්භාවය මැන බැලෙන දර්ශකයක් රටට අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
ලෝකයේ බොහෝ දියුණු රටවල් පවා දැන් ආර්ථික දර්ශකවලින් ඔබ්බට ගොස් මානව සතුට පිළිබඳ අවධානය යොමු කරන බවත්, භූතානය ලෝකයට හඳුන්වා දුන් මෙම ආදර්ශමත් සංකල්පය ශ්‍රී ලංකාවට ද ගැලපෙන අයුරින් ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාවට නැංවීම කාලීන අවශ්‍යතාවක් බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















