27 April 2024
#දේශීය #පුවත්

අරගලකරුවන් කරපු හානිවලට වන්දි ගෙවීම් ඉක්මන් කරන්න – ඇමැති ප්‍රසන්න

ගම්පහ දිස්ත්‍රික්කයේ 2022 මැයි 09 වැනිදා අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ දේපොළවලට අදාළව වන්දි ගෙවීම් කඩිනමි කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා හානි පූර්ණ කාර්යාලයට හා තක්සේරු දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

මේවනවිට ගිනි තබා විනාශ කරන ලද නිවාස 42කින් නිවාස 33ක් සඳහා හානි පූර්ණ කාර්යාලය මඟින් වන්දි ලබාදී තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අරගලකරුවන් ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනි තබා විනාශ කළ සහ විවිධාකාරයෙන් හානි සිදුකළ නිෂ්චල හා චංචල දේපොළවලට අදාළ වින්ධිතයන්ට වන්දි ලබාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (27) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අරගලයෙන් වැඩිම හානි සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට බවය. වන්දි ලබාදීමේදී නිෂ්චල හා චංචල දේපළ වශයෙන් කොටස් දෙකකට තක්සේරු කිරීම් සිදුකරනු ලැබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස හා දේපළ හානියට පත්වීම සම්බන්ධයෙන් වාර්තා වී ඇති සිද්ධීන් ගණන 162කි.

ඒ අතරට වාහන හානි 138කි. ඒ යතුරුපැදි හා ත්‍රීවිල් 108 ක් හා වෙනත් වාහන 29ක් වශයෙනි. මේවනවිට තක්සේරු වාර්තා ලැබී ඇත්තේ නිවාස,දේපළ විනාශවීම් සිද්ධි 100ක් සම්බන්ධයෙන් පමණී. ලියකියවිලි වල ඇතිව තිබෙන යම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් නිසා තවත් දේපළ 9ක් සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් මතුව තිබේ. එහිදී අමාත්‍යවරයා තක්සේරු දෙපාර්තමේන්තුවට, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට,පොලිස් හා ග්‍රාම නිළධාරීන්ට උපදෙස් දුන්නේ වන්දි ලබාදීමට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙසයි.

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන,රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මිලාන් ජයතිලක,ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *