අලුත් අදහස් සහ සැලසුම් සමඟ නව ජවයකින් යුතුව ජනාධිපතිවරයාගේ ජනතාවාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කැපවන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්ය මණ්ඩලයට ආරාධනා කළේය. ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරුමකට එක්වෙමිනි.
මෙහිදී කාර්ය මණ්ඩලය ඇමතූ ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේ අලුත් අවුරුදු උදාව යනු ගෙවී ගිය වසරේ අඩුපාඩු මගහරවා ගනිමින් අලුත් ආකල්ප සමඟ ඉදිරියට යාමට ලැබෙන අගනා අවස්ථාවක් බවයි. රටේ ප්‍රධාන රාජ්‍ය ආයතනය ලෙස ජනාධිපති කාර්යාලය ඉටුකරන මෙහෙවර තවදුරටත් පුළුල් කරමින් සාමුහිකත්වයේ ශක්තියෙන් යුතුව ඉදිරියට යාමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය. මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.














