ප්‍රබල බාර්සිලෝනා කණ්ඩායම දෙවන අර්ධයේදී එල්ල කළ ප්‍රබල අභියෝගය හමුවේ නොසැලී සිටි ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම, දෙපිලේම එකතුව ලකුණු 3-2ක් ලෙස පෙරමුණ ගනිමින් චැම්පියන්ස් ලීග් අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය. මැඩ්රිඩ්හිදී පැවති අතිශය උණුසුම් අර්ධ අවසන් පූර්ව දෙවන වටයේ තරගයෙන් බාර්සිලෝනා කණ්ඩායම ගෝල 2-1ක ජයක් ලැබුවද, පළමු වටයේදී ඇට්ලෙටිකෝ කණ්ඩායම ලබා සිටි වාසිය ඔවුන්ගේ ඉදිරි ගමන තහවුරු කළේය. තරගය ආරම්භ වී මිනිත්තු පහක් වැනි කෙටි කාලයකදී ලැමයින් යමාල් බාර්සිලෝනා වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරමින් සමස්ත ගෝල පරතරය අඩු කළ අතර, පසුව ෆෙරන් ටොරස් ලබාගත් විශිෂ්ඨ ගෝලයත් සමඟ තරගය සම තත්ත්වයට පත් විය. කෙසේ වෙතත්, ඇඩෙමෝලා ලුක්මන් ඇට්ලෙටිකෝ වෙනුවෙන් වාර්තා කළ තීරණාත්මක ගෝලය ඔවුන්ගේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු සැබෑ කිරීමට සමත් විය.
බාර්සිලෝනා ක්‍රීඩක එරික් ගාර්ෂියා රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වීම ඔවුන්ට දැඩි බලපෑමක් එල්ල කළ අතර, අවසාන මොහොත දක්වාම රොබට් ලෙවන්ඩොව්ස්කි ඇතුළු පිරිස උත්සාහ කළද ඇට්ලෙටිකෝ ආරක්ෂක වළල්ල බිඳ දැමීමට ඔවුන්ට නොහැකි විය. වසර 14කට පසුවත් තම කණ්ඩායම යුරෝපයේ දක්ෂතම කණ්ඩායම් හතර අතරට පැමිණීම පිළිබඳව ඇට්ලෙටිකෝ කළමනාකරු ඩියාගෝ සිමියොන් සිය සතුට පළ කළේය. 2016 වසරෙන් පසු පළමු වරට අවසන් මහා තරගයකට පිවිසීමේ අරමුණ ඇතිව සිටින ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම, අවසන් පූර්ව වටයේදී ආර්සනල් හෝ ස්පෝර්ටිං සීපී යන කණ්ඩායම් දෙකෙන් එකකට එරෙහිව තරග වැදීමට නියමිතය.














