ඇමරිකානු වෙළෙඳපොළට අපනයනය කෙරෙන ශ්‍රී ලාංකීය ඇඟලුම් නිෂ්පාදන සඳහා පැනවීමට නියමිත 12.5%ක අමතර තීරුබද්ද වළක්වා ගැනීමට රජයේ කඩිනම් මැදිහත්වීමක් අවශ්‍ය බව ඇඟලුම් අපනයනකරුවන් පෙන්වා දෙයි. බලහත්කාරී ශ්‍රමය යොදාගෙන නිපදවන භාණ්ඩ ආනයනය කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බවට ඇමරිකා එක්සත් ජනපදය මතු කර ඇති කරුණු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇත.
ඇමරිකාව විසින් බලහත්කාරී ශ්‍රමයට එරෙහිව පියවර ගන්නා රටවල් සඳහා 10%ක අමතර තීරුබද්දක් නියම කිරීමටත්, එසේ නොකරන රටවල් සඳහා 12.5%ක අමතර තීරුබද්දක් නියම කිරීමටත් තීරණය කර ඇත. ශ්‍රී ලංකාව දැනට අයත් වන්නේ දෙවන කාණ්ඩයටයි. පාකිස්තානය, කාම්බෝජය, බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව වැනි අපගේ ප්‍රධාන තරගකාරී රටවල් 10%ක තීරුබදු කාණ්ඩයට අයත් වේ. මෙය ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනකරුවන්ට 2.5%ක අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කරයි. දැනට පවතින 10% අමතර තීරුබද්ද ජූලි මාසයේදී කල් ඉකුත් වූ පසු, නව තීරුබදු ක්‍රමය ක්‍රියාත්මක වනු ඇත. මෙම 2.5%ක පරතරය හේතුවෙන් ඇණවුම් ලබා ගන්නා ගැනුම්කරුවන් එම පිරිවැය අපනයනකරුවන්ගෙන් අය කර ගැනීමට උත්සාහ කිරීම නිසා දේශීය අපනයනකරුවන්ගේ ලාභ ආන්තිකවලට දැඩි බලපෑමක් එල්ල වනු ඇත.
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ලේකම් ජනරාල් යොහාන් ලෝරන්ස් මහතා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවට මෙම නිර්ණායකයන්ට අනුකූල වීමට ගත හැකි පියවර පිළිබඳව රජය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවයි. ඇමරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය විසින් පවත්වනු ලබන මහජන උපදේශන කාලය තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරය වෙනස් කර ගැනීමට රජය මැදිහත් වීම අත්‍යවශ්‍ය වේ. බලහත්කාරී ශ්‍රමයට එරෙහිව නිසි නීති සම්පාදනයක් හෝ ඇමරිකාවට සහතිකයක් ලබා දීම මගින් 10% කාණ්ඩයට එක්වීමට ශ්‍රී ලංකාවට අවස්ථාව පවතී.
















