27 April 2024
#දේශීය

ඇමැතිකම් නොලැබුණත් ගැටළුවක් නෑ … අපි දිනලා ඉවරයි! මනුෂ නානායක්කාර

ඔක්තෝම්බර් 26 වැනිදා රටේ ඇතිවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව ආරම්භ කළ සටන පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් පත් කරගැනීමත් සමග ජයග්‍රහණය කළ බවත්, මේ වන විට තමන් සිටින්නේ ජයග්‍රාහී මානසිකත්වයකින් බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

ආණ්ඩුවේ ඇමැතිධූර අතහැර දමා පැමිණියේ වරප්‍රසාද අපේක්ෂාවෙන් නොවන බවත් ඇමැතිධූර නොලැබීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ගාල්ලේදී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින් නානායක්කාර මහතා පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා “ අද අපේ සටන දිනලා තියෙන්නේ. අපි ගෙනාපු සටන, අපි නායකත්වය දීපු සටන අපි ජයගෙන තිබෙන්නේ. ඒ ගැන පුදුම සතුටකින් මම ඉන්නේ. එතැනින් එහාට කිසිම බලාපොරොත්තුවක් මට නෑ. අපේ යුතුකම් අපි ඉටු කරලා ජයග්‍රාහී මානසිකත්වයකින් අපි ඉන්නේ. අපිට අවශ්‍ය වුනේ මේ ජයග්‍රහණයයි. එම ජයග්‍රහණය අපි ලබාගෙන තිබෙනවා. මට පුද්ගලික ජයක් ලබාගැනීමට නෙමෙයි අවශ්‍ය වුනේ. රටට නැවත ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවීමේ අවශ්‍යතාවය විතරයි අපිට තිබුණේ. ඇමැතිකම් ගැනීටම නෙමෙයි අපිට අවශ්‍ය වුනේ. එහෙම ඇමැතිකම් අරගන්න උවමනාවක් තිබුණා නම් මම එදා ඇමැතිකමක් තියාගෙන ඉන්නවා. ඇමැතිකම් අතහැරලා විපක්ෂයට එන්නේ නෑ. අපේ අනාගත පරපුරට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකදීමට තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හෙට දිනයේදීත් ප්‍රජාතන්ත්‍රවාදය වල දැමීමට කවුරුන් හෝ සූදානම් වෙනවා ම් එයට විරුද්ධව මම නැගී සිටිනවා. එයට අවශ්‍ය ශක්තිය තිබෙනවා. අපිට ඒකට ඕන කරන කොන්දක් තියෙනවා.

දැන් විනය පරීක්ෂණ ගැන කතා කරනවා. 2018 ජනවාරි 8 වැනිදාට පෙර මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැත්තකට ගිහින් ඡන්දය ඉල්ලලා ජනාධිපතිවුනා. ඊට පස්සේ නැවත පක්ෂය ලබාගත්තා. ඔහුට විනය පරීක්ෂණ පැවැත්වුවේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා ගිහින් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනිපු අය ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කණ්ඩායමම පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන තමන්ගේ ෆේස් බුක් ගිණුම්වල ඒවා දැම්මා. පත්තරවල ගියා. ටී.වී. එකේ ගියා. ඒ අයට විරුද්ධව ගනිපු විනය ක්‍රියාමාර්ගය මොකක්ද? මේ අය තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා කියනවා. පොහොට්ටුවට ගිය අයට විරුද්ධව විනය පරීක්ෂණ ක්‍රියාත්මක කරලා නැතිනම් ඇමැතිකම් අතහැරලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කරපු අයට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වන්න බෑ. අපි මේ ආණ්ඩුවේ කොටස්කරුවන්. අපි විතරක් නෙමෙයි ජනාධිපතිවරයාත් මේ ආණ්ඩුවේ කොටස්කරුවෙක්. ඔහු දැන් ඇමැතිධූර තුනක් දරාගෙන ඉන්නවා. මේ අය තමන්ට කන්න ඕන වුනාම ගොරකත් දඩමස් කරගන්නවා. මේවා දේශපාලන පක්ෂයකට හරියන්නේ නෑ. මේවා ගමේ කඩපිලේ කියන්න හොදයි. ඒත් මේවා කියමින් රටක් කරන්න බෑ.

දැන් මේ අය මාධ්‍ය සාකච්ඡා පවත්වත්දී පිටිපස්සේ තියෙන පොහොට්ටු ලකුණ කළු පාට රෙද්දක් දාලා වහලා තියෙනවා. මේ විදියට ජනතාව රවට්ටන්නේ කොහොමද? මොකක්ද මේ ලැජ්ජා නැති වැඩේ? මේ අය හැමදාම ජනතාව රවට්ටනවා වගේ තමන්ගේ මන්ත්‍රීකම රැක ගන්න පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නෑ කියලා කියනවා. මේ විදියට බොරු කියන අය දිහා බැලුවම වහල්ලුන්ට අබ සරණයි කියලා තමයි කියන්න වෙන්නේ.

ආණ්ඩුවට එන්න තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් සූදානමින් සිටිනවා. මේ අය එන එක නවත්තගන්න තමයි තවත් ඇමැතිකම් දෙන්නේ නෑ කියලා ජනාධිපතිවරයා කියන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ තනතුරු වෙනුවෙන් එන අය නෙමෙයි. වරදාන වරප්‍රසාද ගැන බලන්නේ නැතිව රට වෙනුවෙන් හිතන අය අපිත් එක්ක එකතුවේවි. තමන්ගේ හෘදය සාක්ෂියට එකගව, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අය පුද්ගලිකව තමයි අපිත් සමග එකතුවිය යුතු වන්නේ. තනතුරු අවශ්‍ය නෑ, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එන අයට ආණ්ඩුවේ දොර විවෘත වෙලා තියෙන්නේ.

අපේ සටන අපි දිනලා ඉවරයි. ඒ දිනපු සටන ඇතුලේදී අපිට ඇමැතිකම් නොලැබුණා කියලා කිසිම ගැටලුවක් නෑ. ඇමැතිකමක් ලැබුණොත් භාරගන්නේ නෑ කියන එක එයින් අදහස් වෙන්නේ නෑ. ඒත් අපි ආරම්භ කළ සටන දිනුවා. ඒ ගැන අපි ජයග්‍රාහී මානසිකත්වයකින් ඉන්නේ. යැයි මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *