27 April 2024
#දේශීය

ඉදිරියේදී ශ්‍රීලනීප මන්ත්‍රීවරුන්ට තීරණාත්මක කාලයක් …..!

මෙවර ජනාධීපතිවරණයෙදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට හිමි විය.එම ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍ය ධුර 02 ලබා දී ඇති අතර රාජ්‍ය අමාත්‍ය ධුර ගණනද යම් ප්‍රමාණයකින් අඩුය.

එසේම මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යැයි කියා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරියේදී පොදු ජන පෙරමුණේ සන්ධානය යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වන්නට සිදුව ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරණ මැතිවරණයත් සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුන විසින් අත්සන් කල අවබෝධතා ගිවිසුමට අනුව ඉදිරියේදී පොදු ලකුණක් යටතේ තරඟ කිරීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂයෙකු අප වෙත කියා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරි මහමැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යැයි කියා සිටින බොහෝ දෙනෙකුට තීරණාත්මක වනු ඇත. ඒ ඉදිරි මහමැතිවරණයට ආණ්ඩු පිහිටුවන්න බලය ලබා ගැනීමට මහින්ද ප්‍රමුඛ පිරිස පොහොට්ටුව පෙරදැරිව ඉදිරියට යාමට මේ වන විට පිඹුරුපත් සකස් කරනු ඇත. එයින් සිදු කෙරෙන්නේ පසුගිය රජය යටතේ තම හැර ගිය පිරිස තව තවත් අනාථ කිරීම බව පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර තොරතුරු සපයන්නෙකු අප වෙත කියා සිටියේය. එම තොරතුරු ලබා දෙන්නා අප වෙත කියා සිටියේ ජනාධිපතිවරණ ප්‍රතිඵළ සමඟ බලන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 121 ක් ලබා ගැනීමේ හැකියාව මේ වන විට පවතින බවයි. ඉදිරි මාස කිහිපය තුළදී එය 140 දක්වා වැඩී කර ගැනීමට කටයුතු කරන බව පොදු ජන පෙරමුණ නියෝජනය කරන අභ්‍යන්තර තොරතුරු ලබා දෙන්නා අප වෙත කියා සිටියේය. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට 150 අනිවාර්යෙන්ම සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සැලසුම් කර ඇති බවයි ඔහු අවධාරණය කළේය. ඉදිරියේදී නව රැල්ලට අවශ්‍ය තරුණ පිරිස්වල ඡන්ද ලබා ගැනීමට තරුණ පිරිස් පාර්ලිමේන්තුවට යොමු කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වේ. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පසුගිය කාලය පුරා රට වටා ගොස් මහජනතාව දැනුවත් කල “වියත් මග ” සංවිධානයේ පිරිස් ද මෙවර මහමැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව ඇත. ඒ අනුව ඉදිරියේදී මහමැතිවරණ සටනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණේ අර්බුධය වැඩිවනු ඇති. 

පොදු ජන පෙරමුණේ අනාගතය ඉදිරියේ මෙසේ සැලසුම් කර ඇති නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අඹ සරණ යැයි පැවසීමට කාලය එළැඹ ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂයෙකු අප වෙත කියා සිටියෙය. මේ වන විටත් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කිසිදු අයුරකින් පක්ෂය ගොඩ නැගීමට හැකියාවක් හෝ උනන්දුවක් නොමැති වීම මීට හේතුව වනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඉහළ තනතුරුවලට අදාළ පුද්ගලයින් තමන්ගේ ආසනය පමණක් වැඩ කරමින් තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය රැක ගැනීමට කටයුතු කිරීම පමණක් සිදු කිරීම නිසා මෙම තත්ත්වය උදා වනු ඇත. ඇතැම් ඉහල තනතුරුවලට අදාල අය පවා මේ වන විට ඉදිරියේදී කරන්නේ කුමක්දැයි පවා නොදැන සිටිම හා වෙන දෙයක් සිදුවන්නට ඉඩ හැර බලා සිටිමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහල තනතුරු තවමත් ගෙට වී සිටිම නිසාවෙන් බව එහි ජ්‍යෙෂ්ඨයෙකු අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *