27 April 2024
#සංවර්ධන

කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ඇරඹේ

කොවිඩ් 19 වසංගත තත්ත්වය  හේතුවෙන් අත් හිටුවා තිබු කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කර  කඩිනමින් අවසන් කරන ලෙස අදාල කොන්ත්‍රාත්කරුවන්ට ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් නිකුත්කර ඇත.

කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ අරමුණින් පසුගිය කාලයේ ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති රැසක් අඩාළ වී තිබුණි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වීමෙන් පසු මෙම ව්‍යාපෘති යළි කඩිනම් කෙරිණ. 

එහෙත් කොවිඩ් 19 වසංගතය රට පුරා පැතිරයාමේ  අවදානමත් සමග ඇදිරිනීතිය පැනවීම වැනි සීමා හේතුවෙන් පසුගිය මාස 03 ක කාලය තුළ එහි ඉදිරි කීරීම් සිදු වූයේ නැත. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා උපදෙස් දුන්නේ නතර වු සියලු සංවර්ධන කටයුතු  වහා අරඹන ලෙසයි. 

ඒ අනුව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු වහා නැවත අරඹන ලෙස ගුවන් තොටුපළ කළමණාකාරිත්වයට උපදෙස් දුන්නේය. 

එම ව්‍යාපෘති යළි ආරම්භ කෙරුණේ ඒ අනුවයි. 

විෂයභාර ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා (14) ගුවන් තොටුපළේ නැවත ආරම්භ කෙරුණ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කළේය. මේ වන විට කටුනායක ගුවන් තොටුපළේ ප්‍රධාන ව්‍යාපෘති 02 ක් ක්‍රියාත්මක වේ. එක් ව්‍යාපෘතියක් වන්නේ නව ගුවන්යානා අංගනයක් ඉදි කිරීමයි. 

ජපන් යෙන් 1,152,273,761  හා ශ්‍රී ලංකා රුපියල් 4,456,377,248  මේ සදහා වෙන් කර තිබේ. මෙහි ඉදි කිරීම් 2017 දී ඇරඹුන අතර 2019 ඔක්තෝම්බර් මාසයේ දී අවසන් වීමට නියමිත ව තිබිණි. මීට අමතරව කටුනායක ගුවන් තොටුපළේ නව මගී පර්යන්තයක් ඉදි කීරිමට ද කටයුතු යොදා තිබේ. 

ජපන් යෙන් 41,553,891,286 හා ශ්‍රී ලංකා රුපියල් 35,135,843,333 වෙන් කර තිබේ. මෙහි ඉදිකිරිම් ආරම්භ කිරීම විවිධ හේතූන් මත ප්‍රමාද වී තිබු අතර වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මේ වන විට එහි ඉදිකිරීම් යළි ආරම්භ කර ඇත.

නිරීක්ෂණ චාරිකාවෙන් පසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම කොන්ත්‍රාත්කරුවන්ට, උපදේශක ආයතන හා ගුවන් තොටුපළ බළධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වූයේ ය. 

එහි දී ඇමතිවරයා මෙම ව්‍යාපෘති වල ප්‍රගතිය විමසා බැලු අතර ඇතැම් ව්‍යාපෘති නිම කිරිමේ කාලය ඉකුත් වී තිබු බව මෙහිදි අනාවරණය විය. 

මෙම කොන්ත්‍රාත්කරුවන්ට අවස්ථා කීපයකදී ම ඊට අමතර කාලය ලබා දී ඇතැත් තවමත් එය අවසන් නොවීම පිළිබද ව දැඩි ලෙස කණස්සල්ල පළ කළ ඇමතිවරයා දැනට ලබා දී ඇති කාලය අවසන් වීමට පෙර ව්‍යාපෘතිය අවසන් කරන ලෙසද ඔවුන්ට උපදෙස් දුන්නේය. “මේ ආණ්ඩුව වැඩ කරන ආණ්ඩුවක්. 

වැඩ ප්‍රමාද කරන ආණ්ඩුවක් නෙමෙයි. ඒ නිසා නියමිත කාලයට වැඩ අවසන් කරන්න. එහෙම නොවුණොත් මා ඔබට එරෙහිව පියවර ගන්නවා”. ඇමතිවරයා ඔවුන්ට අනතුරු අගවමින් කීවේය.

අදාළ ඉදිකිරීම නිසි ලෙස සිදු කෙරෙන්නේදැ’යි නිරන්තර අධීක්ෂණයකට ලක් කිරීම සදහා ගුවන් තොටුපළ අභ්‍යන්තර කමිටුවක් පත් කරන ලෙසද ඇමතිවරයා ගුවන් තොටුපළ නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *