මීගමුව බන්ධනාගාරයේදී හදිසි උපක්‍රමික බළකායේ නිලධාරීන් අට දෙනෙකු ඉලක්ක කර එල්ල කළ ඝාතන සැලසුම සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ කටුවැල්ලේගම සුරේෂ් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කල්ලියක් විසින් බව විමර්ශනවලදී තහවුරු වී තිබේ. මෙම කල්ලිය මීට පෙර පසුගිය 05 වැනිදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමද මෙහෙයවනු ලැබුවේ කටුවැල්ලේගම සුරේෂ් සහ මීගමුවේ රොකී යන අයගේ ප්‍රධානත්වයෙනි.
මෙම ප්‍රහාර සැලසුම්වලට සම්බන්ධ වූ කටුවැල්ලේගම සුරේෂ් ඇතුළු සියලුම රැඳවියන් මේ වන විට බූස්ස සහ අඟුණකොළපැලැස්ස බන්ධනාගාර තුළදී දැඩි ප්‍රහාරයන්ට ලක්ව බරපතළ තුවාල ලබා සිටිති. අනෙක් රැඳවියන් සහ නාඳුනන පිරිසක් විසින් දියත් කළ මෙම ප්‍රහාරවලින් සුරේෂ්ගේ පාද සහ පිටකොන්ද බිඳීම්වලට ලක්ව ඇති අතර, ඔහු මේ වන විට ඇවිද ගත නොහැකි අසරණ තත්ත්වයකට පත්ව සිටින බව වාර්තා වේ. මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මෙම අර්බුදකාරී තත්ත්වය සහ පසුව බන්ධනාගාර තුළ සිදු වූ අභ්‍යන්තර ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් මේ වන විට දැඩි අවධානයෙන් පසුවේ.
















