පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වයත් සමඟ කළුගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ යාම හේතුවෙන්, මීට වසර කිහිපයකට පෙර ජලයට යටවූ පැරණි ලග්ගල නගරයේ සහ ගම්මානවල නටබුන් යළි මතුවෙමින් පවතින බව වාර්තා වේ.
මොරගහකන්ද – කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරීම හේතුවෙන් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 10කට අයත් පවුල් 632ක නිවාස මෙන්ම පාසල් 2ක්, විහාරස්ථාන 3ක්, ව්‍යාපාරික ස්ථාන 34ක් සහ රජයේ කාර්යාල 23ක් මීට පෙර ජලාශයට යටවී තිබුණි.
ජලාශභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා සඳහන් කළේ පවතින වියළි කාලගුණය හමුවේ කළු ගඟේ ජල ධාරිතාව මේ වනවිට සියයට 20 දක්වා පහත බැස ඇති බවයි. මෙලෙස ජල මට්ටම පහළ යාමත් සමඟ පැරණි ලග්ගල පල්ලේගම, ගුරුවෙල, රාවණාගම, මඩුමාන, ගඟහේන්වල සහ ගෝනවල යන ගම්මානවල නටබුන් ජලාශ පතුලෙන් මතුවී ඇත. එමෙන්ම පැරණි ලග්ගල නගරය, විහාරස්ථාන, බුදු පිළිම, ලග්ගලට පිවිසෙන පැරණි පාලම මෙන්ම පැරණි නිවාසවල අත්තිවාරම්, තාප්ප සහ මාර්ග පද්ධතියේ කොටස්ද නැවත දැකබලා ගැනීමට හැකි වී තිබේ.
















