නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් (Christopher Luxon) මහතාට එරෙහිව සිය පක්ෂය තුළම පැවති විශ්වාසභංග යෝජනාවෙන් ඔහු ජයග්‍රහණය කර තිබේ. සිය නායකත්වය කෙරෙහි පවතින විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින්ම කැඳවූ මෙම රහස් ඡන්ද විමසීමෙන් ඔහු පක්ෂයේ බහුතර කැමැත්ත දිනා ගැනීමට සමත් වූ බව අද (අප්‍රේල් 21) වාර්තා විය.
නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණය ආසන්නයේදී එරට ආර්ථිකයේ පවතින දුර්වලතා සහ විරැකියාව ඉහළ යාම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ සහ පාලක “නැෂනල්” (National Party) පක්ෂයේ ජනප්‍රියතාවය සීඝ්‍රයෙන් පහත වැටී තිබේ. මෑතකදී සිදු කළ මත විමසුම්වලට අනුව විපක්ෂ නායක ක්‍රිස් හිප්කින්ස් (Chris Hipkins) මහතාට ජනතාවගේ වැඩි කැමැත්තක් හිමිව ඇති අතර පාලක සභාගයට මැතිවරණයේදී බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වනු ඇති බවට ද අනාවැකි පළවී ඇත.
මෙම ජයග්‍රහණයත් සමඟ සිය නායකත්වය පිළිබඳ ගැටලුව දැන් විසඳී අවසන් බවත් පක්ෂයේ පූර්ණ සහාය තමන්ට හිමි බවත් අග්‍රාමාත්‍ය ලක්සන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.















