27 April 2024
#දේශීය #පුවත්

කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා ඉඩමක් නිදහස් නොකිරිම වෙනුවෙන් ගොවි විරෝධයක්

කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර, රාජාංගනය ප්‍රදේශයේ ක්‍රියාත්මක ඇඹුල් කෙසෙල් වගා වැඩසටහනේ කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා ප්‍රදේශයේ පවතින ඉඩමක් නිදහස් නොකිරීමට විරෝධය පළ කරමින් කෙසෙල් ගොවීන් පිරිසක් අද (21) නිහඩ විරෝධතාවක නිරත වූහ.

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය (ASMP) මගින් රුපියල් ලක්ෂ 990 ක මුදලක් කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීම වෙනුවෙන් මේ වන විට වෙන් කර ඇතත්, එම මධ්‍යස්ථානය ඉදි කිරීමට ඉල්ලා ඇති බිම් කොටස රාජාංගනය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිදහස් කර නොදෙන බව පවසා මොවුන් මෙලෙස අදාළ හිස් ඉඩම ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.

එහිදී අදහස් දැක්වූ ඒ පාර්ක් ගොවි සමාගේ සභාපති ඕ.වී රනිල් සමින්ද්‍ර මහතා ” ප්‍රදේශයේ කෙසෙල් ගොවීන් එක්ව ගොවි සමාගමක් පිහිටුවා රාජාංගනය ඒ පාර්ක් නමින් කෙසෙල් අපනයනය කිරීම වසර කීපයක සිට සිදු කරනවා, අපි මේ වන විට වසර කීපයක් තුළ ඩොලර් ලක්ෂ 06 ක් පමණ මෙරටට ගෙනැවිත් තියෙනවා.මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය හේතුවෙන් රුපියල් ලක්ෂ 990 ක් අපනයන මධ්‍යස්ථාන ය ඉදි කිරීමට රජය මගින් වෙන් කර ඇති නමුත් ඇතැම් රාජ්‍යය නිළධාරීන්ගේ කටයුතු හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අඩාල වීමේ අවධානමක් පවතින බවද පැවසීය.මේ වන විට පෞද්ගලික ඉඩමක රුපියල් ලක්ෂයකට වැඩි මාසික කුලී පදනම මත අපනයන සැකසුම් මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවත්, එම කුලී මුදලද ඉතිරි කර ගැනීම සඳහා මධ්‍යස්ථානයක් ඉදි කර ගැනීමට මුදල් මේ වන විට වෙන් වී ඇති පසුබිමක, අදාළ මධ්‍යස්ථානයටම නුදුරින් පිහිටි රජයේ හිස් ඉඩමක් ඉල්ලීම් කළ බවත්, මාස 03 කට වැඩි කාළයක් ගත වී ඇතත් මේ ඉඩම නිදහස් කර නොදුන් බවත්, මේ හේතුවෙන් ව්‍යාපෘතියට වෙන් වූ ලක්ෂ 990 ක මුදල නැවත හරවා යැවීමට සිදු වන බවත් පැවසීය.මේ ඉඩම තම ගොවි සමාගම විසින් ඉලලීම් කළ පසු එය පාසලේ ඉඩමක් බව පවසා රාජාංගනය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එය ලබා නොදෙන බවත්, අක්කර 03 ක් ඇති අතහැර දමා ඇති භූමියෙන් රටට ඩොලර් ගෙන ඒම සඳහා අක්කරයක භූමියක් පමණක් ඉල්ලා සිටින බවත්, අක්කර 07 ක් වූ අදාළ ඉඩම කැලෑ වැවී, ඇතැම් පිරිස් අත්පත් කර ගනිමින් සිටින බවත්, ඇතැමුන් පොල් ලෙලි වේලීමට, ගොයම් පෑගීමට එම භූමිය පාවිච්චි කරන බවත් විරෝධතාකරුවන් චෝදනා කරනු ලැබීය.

තවද මේ ව්‍යාපෘතිය අසාර්ථක වුව‍හොත් ප්‍රදේශයේ කෙසෙල් අක්කර 800 කට පමණ වගා ගොවීන් 600 කට වැඩි ප්‍රමාණයකට අසාධාරණයක් සිදු වන බවද, ඔවුන් පෙන්වා දුන්හ.මෙම ඉඩම ඉල්ලා සිටින්නේ, වගා බිම් වලට ආසන්නතම ස්ථානයක් බැවින් හා තාකෂණික කාරණා බලපෑම හේතුවෙන් හා කන්ටේනර් ඇතුළු වාහන ලඟා වීමේ පහසුව සහිත ස්ථානයක් වීම හේතුවෙන් බවද පැවසීය.

මේ සම්බන්ධයෙන් අප රාජාංගනය ප්‍රාදේශීය ලේකම් උපාලි රාජපක්ෂ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී කියා සිටියේ, “පාසල් ක්‍රීඩා පිටියේ කොටසක් තමා මේ ඉල්ලා සිටින්නේ, එම කොටස සිතියම් කරලා තියෙන්නේ පාසල් ඉඩම ලෙස, මේ ගොවීන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්තුමන්ව දැනුම්වත් කළා, ඔවුන්ගේ එකඟතාවක් මෙතෙක් ලැබී නෑ, එකඟතාවක් ලැබුණොත් ගැටලුවක් නෑ, වෙනත් ඉඩම් කීපයක් ඔවුන්ට යෝජනා කරලා තියෙනවා, නමුත් ගොවියෝ ඊට එකඟත්වයක් දක්වලාත් නෑ යැයි පැවසීය.

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *