27 April 2024
#දේශීය

කොරෝනා උවදුරෙන් මිදෙන්න නිසි පිළිවෙත් අකුරට පිළිපදින්න

කොරෝනා හෙවත් COVID 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කොට ජන ජිවිතය සුරක්ෂිත කරනු පිණිස හඳුන්වාදී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමග මුළුමනින් අනුගත වන්නැයි රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ බරපතල සෞඛ්‍ය ගැටළුව ජය ගැනීමට ඇති ප්‍රධාන මග වෛරසයට ගොදුරුවීම වළක්වා ගැනීම හෙවත් නිවාරණයයි.

කාර්යාල, කඩ සාප්පු, බස්රිය, දුම්රියපොළ වැනි පොදු ස්ථානවල ගැවසෙන විට සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම එනම් එකිනෙකාට මීටරයක් තරම් දුරින් සිටීම ඒ සඳහා ඇති වඩාත් ඵලදායී ක්‍රමයක් ලෙස හඳුනාගෙන තිබේ. එසේම වෛද්‍ය විශේෂඥයන් විසින් නිර්දේශිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුය.

වෛරසය ව්‍යාප්තවීම වළක්වනු පිණිස රජය ඉකුත් දින කිහිපය තුළ නිශ්චිත පියවර රැසක් හඳුන්වා දුන්නේය. පසුගිය සිකුරාදා සවස 6.00 සිට හෙට, 23 සඳුදා උදේ 6.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය පැනවීම ඉන් ප්‍රධාන තැනක් ගනී.
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලත්, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරේ දිස්ත්‍රික්ක 05 තුළත් දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර ඇත. සෙසු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදේ 6.00ට ඉවත් කොට එදිනම දහවල් 2.00ට යළි පනවනු ලැබේ.

හෙට උදේ ඇඳිරි නීතිය ඉවත් කෙරෙන දිස්ත්‍රික්කවල ජනයා විශාල පිරිසක් එදිනෙදා අවශ්‍යතා මිලට ගැනීම සඳහා වෙළෙඳ සැල් වෙත එනු ඇතැයි අපේක්ෂා කෙරේ. භාණ්ඩ මිලදී ගැනීම අවශ්‍ය වුවද වෛරසයට ගොදුරුවීම වළක්වා ගැනීම පිණිස සෞඛ්‍ය බලධාරින් දී ඇති උපදෙස් අකුරටම පිළිපදින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. වෙළෙඳ සැල්වලට පිවිසීමේදීත් වෙළෙඳ සැල් ඇතුළතදීත් එකිනෙකා අතර මීටරයක දුර පවත්වාගත යුතුය. කැස්ස හෝ කිවිසුම් ඇති වූ විට උපදෙස් පරිදි මුව ආවරණය කර ගන්නා ලෙස ඔවුනට අවවාද කෙරේ. බස්රියෙන්, දුම්රියෙන් සහ ත්‍රිරෝද රියෙන් ගමන් කිරීමේදීත් දුරස්ථභාවය ආරක්ෂා කළ යුතුය. ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීමට පැමිණිවිට ද මේ පිළිවෙත අනුගමනය කරන ලෙස සිහිපත් කරනු ලැබේ.

භාණ්ඩ මිලට ගැනීමට එන විට එක් පවුලකින් එක් අයෙකු පමණක් පැමිණීමෙන් ඒකරාශිවන පිරිස අඩු කර ගැනීමට පිළිවෙන. එය සමාජ දුස්ථභාවය පවත්වා ගැනීමට උපකාරී වෙයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇත. ඒවා හිඟයකින් තොරව රට පුරා බෙදා හැරීමට විධිවිධාන සලසා තිබේ. එබැවින් අනවශ්‍ය කලබලයකින් භාණ්ඩ රැස් කර තබා ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි රජය පෙන්වා දෙයි. ඇඳිරි නීතිය සමය තුළ පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීම සෙනග අතර ගැවසෙන කාලය අඩුකර ගැනීමට උපකාරීවනු ඇත. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ නිවෙස්වල රැඳී සිටිමින් ගෘහ කාර්යයන්හි නිරත වන්නැයි කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ජනතාවට සිහිපත් කරනු ඇත.

 

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *