ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සජිත් අකලංක නොහොත් ‘කොස් මල්ලි’ නමැත්තාගේ මෙරට ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ සමීපතම ගෝලයෙකු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී රුපියල් මිලියන ගණනක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 906ක්, අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 210ක් සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය සඳහා සන්නිවේදනයට යොදාගත් ස්මාර්ට් ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාලයක ක්‍රියාකාරියෙකු විසින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන බොරලැස්ගමුව, ඇඹිල්ල ගහවත්ත ප්‍රදේශයේ ස්ථානයකට පැමිණ ඇති බවත්, ඔහු තවත් හෝරාවකටත් අඩු කාලයකදී එම ස්ථානයෙන් පිටව යන බවටත් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට අතිශය රහසිගත තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම් අදාළ ප්‍රදේශය වටලා සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු කොටු කරගැනීමට හැකි විය.
පොලිස් අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, විදේශගතව සිටින ‘කොස් මල්ලි’ විසින් ලබාදෙන උපදෙස් හා ඇමතුම් අනුව විවිධ රහසිගත ස්ථානවලින් තමන් වෙත ලැබෙන මත්ද්‍රව්‍ය තොග, කුඩා පැකැට් වශයෙන් කොටස් කර තොග විකුණුම්කරුවන් වෙත බෙදා හැරීම තමන් විසින් සිදුකළ බවයි. මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරම වෙනුවෙන් ‘කොස් මල්ලි’ විසින් තමන්ට මාසිකව රුපියල් ලක්ෂයක ස්ථාවර වැටුපක් ලබාදුන් බව ද සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේම නිවසක් කුලී පදනම මත ලබාගෙන තනිව පදිංචිව සිටි 30 හැවිරිදි වියේ පසුවන්නෙකි. මෙම මත්ද්‍රව්‍ය ජාලයේ සෙසු සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් සංසරණය වූ බැංකු ගිණුම් පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීම සඳහා සැකකරුට එරෙහිව අධිකරණයෙන් දින 7ක රැඳවුම් නියෝග (Detention Orders) ලබාගෙන බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මඟින් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
















