27 April 2024
#දේශීය

කොළඹ අලුත්කඩේ අධිකරණ පියස ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම් ගැන පැහැදිලි කිරිමක්

කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා එම ගොඩනැගිලි මේ වන විට අබලන් තත්වයට පත්වීමට විසඳුම් වශයෙන් අධිකරණ පියස නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම සඳහා අක්කර 06 ක ඉඩමක් මේ වන විට වෙන් කර ඇති අතර, ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

ඒ අනුව පවතින අබලන් අධිකරණ ගොඩනැගිලි වෙනුවට තට්ටු 12 කින් යුත් අධිකරණ ශාලා 40 කින් යුත් ගොඩනැඟිල්ලක්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කටයුතු සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැඟිල්ලක් ,විනිසුරුවරුන්ගේ පුහුණුවීම් කටයුතු වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානයක් සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැඟිල්ලක්, හා නව නීති මධ්‍යස්ථානයක් සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදි කිරිමට නියමිතව ඇත.

ඩොලර් මිලියන 94.55 ක මුදලක් අධිකරණ පියස ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමේ කටයුතු වෙනුවෙන් වැය කිරිමට නියමිත අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ සඳහා දේශිය ආයෝජකයෙකු හෝ දැනට ලංකාවේ ඉදි කිරිම් කටයුතු සිදු කරන විදේශීය ආයතන මඟින් තරඟකාරී මිල ගණන් කැඳවිම යටතේ ආයෝජකයෙකු තෝරා ගැනිමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව පුවත් පත් දැන්වීම් පළ කිරීම මගින් මෙහි ආයෝජනය කිරීම සඳහා ආයෝජකයින් 13 දෙනෙකු ඉදිරිපත් වී ඇති අතර මේ වන විට ද කිසිදු ආයෝජකයෙකු මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර ඉදි කිරීමට තෝරා ගෙන නොමැති බව අධිකරණ අමාත්‍යංශය නිවේදනය කරයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *