27 April 2024
#විශේෂාංග

ගෝඨාගේ රට තුල විහිළු නොකරන පාලනයක්…

හැට නව ලක්ෂයක් ඡන්දදායකයින් පැතූ සේ ම ගෝඨාභය රාජපක්ෂ පාලනය රට ට ලොව ට දැනෙන හෙවත් සංවේදී ප්‍රපංචයක් බව ට පත්වී ඇත. මේ තත්ත්වය බැහැර කිරීම ට හෝ නොසලකා සිටීම ට ගෝඨා හෝ රාජපක්ෂ භීතිකාවෙන් පෙළුණවුන් ට පවා නොහැකි පරිසරයක් නිර්මාණය වී තිබේ. එය ගෝඨා පාලනයේ නව්‍යකරණය පිළිබඳ සුබවාදී ප්‍රවේශයක් වන ලකුණු සතර අතින් ම විද්‍යාමාන වන්න ට පටන්ගෙන තිබේ.

මෙහි කැපීපෙනෙන ලක්ෂණයක් ලෙස, මැතිවරණය ට පෙර හා ගෝඨාභය සම්ප්‍රාප්තිය ට බොහෝ කලකට පෙර සිට ඊට එරෙහිවූවන්ගේ වත්මන් කියැවීම් සැලකිල්ලට ගැනීම වැදගත් ය. ඒ අතරින් රංජිත් නිර්මාල් දේවසිරි විචාරකයාගේ සටහන් වැදගත් තන්හිලා සැලකිල්ල ට ලක් කළ හැකි ය. ඔහු විසින් 2020 නව වසර සමාරම්භයේ ම මුහුණූ පොතේ තැබූ සටහනක් මෙසේ ය.

‘ගෝඨාගේ රට’ ලෙස ඔහු ඊට මාතෘකාවක් ද දී ඇත.
=========
“දැනට පෙනෙන ආකාරයට ගෝඨාගේ පාලනය 1977න් පසු බිහිවන ප්‍රථම බැරෑරුම් රෙජීමය වීමට නියමිත ලකුණු දක්නට ලැබේ. මගේ අදහස නම් ලංකාවේ මෙවැනි ආණ්ඩු දෙකක් මීට පෙර තිබී ඇත. පළමුවැන්න 1970-1975 සමඟි පෙරමුණු ආණ්ඩුවයි. දෙවැන්න ජේආර්ගේ ආණ්ඩුවයි. ගෝඨාගේ ආණ්ඩුව තුන්වැන්න වන බව පෙනේ. මේවායේ ලක්ෂණය වන්නේ ඒ ඒ ආණ්ඩු පිහිටුවීම පසුපස ඇති ආර්ථික දැක්ම ක්‍රියාත්මක කිරීමට දක්වන කැපවීමයි. ගෝඨා ව්‍යාපෘතියේ ආර්ථික දැක්ම බොහෝ දුරට ජේආර්ගේ දැක්මට බොහෝදුරට සමාන වුව ද ජේආර් ට ජනප්‍රිය දේශපාලන මනස තමා වෙත දිනාගැනීම ට නොහැකි විය. ගෝඨා ට ඇත්තේ ඒ සම්බන්ධව ගත්කල අනගි අවස්ථාවකි. ගෝඨාගේ ආර්ථික දැක්ම මූලික වශයෙන් ගලා එන්නේ 1990න් පමණ පසුව බිහිවන නව බූර්ෂුවා පංතියේ ආර්ථික වුවමනා තුළිනි. ගෝඨා කැපවී සිටින්නේ මේ පංතියට අවශ්‍ය ආර්ථිකයක් හා සමාජ පර්යායක් නිර්මාණ කිරීමටයි. ඒ සඳහා වූ අවංක කැපවීම ගෝඨා ට මෙන්ම ඔහු වටා සිටින පිරිස ට ද නොඅඩුව තිබෙන බව පෙනේ. ඒ අනුව අපට ඉදිරියේදී විහිළු නොකරන ආණ්ඩුවක් දැකගැනීමට හැකිවනු ඇත.”
(මතු සම්බන්ධයි.) 

Nirmal Dewasiri Yesterday at 5:03 PM

ගෝඨා භීතිකාවෙන් පෙළුණු උන් මේ කියන්නේ කවර කතාවක් ද? මෙසේ පවසන්නේ කුමන අර්ථයකින් ද ? මේ සැරසෙන්නේ කුමන විග්‍රහයක ට ද ? යන කරුණු මැදහත් සේ ම ගෝඨා පාලනය වෙනුවෙන් කැපවූවන්ගේ අවධානය ට ලක් විය යුතු ය.

නිර්මාල් දේවසිරි විචාරකයා ට අනුව, ගෝඨා යම් පන්තිමය අවශ්‍යතාවක් වෙනුවෙන් සිය ආර්ථිකය හසුරුවමින් සිටී. නිර්මාල් කියන පන්තිය ම නොවූවත් ගෝඨා යම් දියුණු දැක්මකින් යුතුව ආර්ථිකය කළමනාකරණය කරන්න ට වෙර දරමින් සිටී.

සත්‍යය නම්, පෙර හෝ මෑත කාලීන රටේ පාලකයින් ට වඩා වැඩි උවමනාවකින් හා කැපවීමකින් යුතුව ‘ගෝඨාභය රාජපක්ෂ නම් මිනිසා’ රටේ පාලනය ට තුන් හිතින් ම සිය කාලය කැපකරමින් සිටින වගයි. නිර්මාල් කීවත් නොකීවත් එය සුළුවෙන් තැකිය යුතු නොවේ.

මෑත කාලයේ කිසිදු පාලකයෙක් නොලද තරමේ ජනතා ආකර්ෂණයක් සහිතව ගෝඨාභය වැඩේ ට අවතීර්ණ වී සිටියි. ඒ අනුව ඔහු සමඟ විහිළු කිරීම ට කිසිවෙකු ට නොහැකිවීම ද අරුමයක් නොවනු ඇත.

ගෝඨාගේ පාලනය නිවැරදිව ඉදිරිය ට යනු දැක්ම, මේ ලියුම්කරු සේ ම, ගෝඨා පාලනය ට ආශීර්වාද කළ සැමගේ පැතුමයි. එමෙන් ම ඊට අකුල් හෙලූවන්ගේ ලියමන් හා කියමන් ද සැලකිල්ල ට ගන්නේ නම් ඔවුන් ද සනසවන මාර්ගයක ගෝඨා යනු දැක්ම, අප වැන්නන් තව තවත් අමන්දානන්දයට පත් කරවන සුළු ය.

කෙසේ වෙතත්, “අපට ඉදිරියේදී විහිළු නොකරන ආණ්ඩුවක් දැකගැනීමට හැකිවනු ඇත.” යනුවෙන් නිර්මාල් දේවසිරි පවසන දෑ උපහාසාත්මකව බැහැර නොකරන්නටත් අප වගබලා ගත යුතු ය.

* Written By : Janith Vipulaguna

Leave a comment

Your email address will not be published. Required fields are marked *