27 April 2024
#සංවර්ධන

චංකානෙයි සහ කරෙයිනගර් නිවාස ව්‍යාපෘති ප්‍රතිලාභී අයිතියට

නැවත පදිංචි කරනු ලබන හා යළි පදිංචි වීම සදහා දිවයිනට පැමිණෙන සරණාගතයින් සදහා යාපනය දිස්ත්‍රික්කය තුළ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතීන් යටතේ චංකානෙයි සහ කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නිවාස ප්‍රතිලාභීන් වෙත පවරා දීම ඊයේ (10) දින සිදු කෙරිණි.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ප්‍රතිලාභීන් වෙත පවරා දීම සිදු කෙරිණි.

2019 වර්ෂය තුළ චංකානෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ නිවාස 139 ක් ඉදිකරනු ලබන අතර ඉන් නිවාස 69 ක් ප්‍රතිලාභි අයිතියට පවරා ඇත. තවත් නිවාස 70 ක් දෙවන අදියර යටතේ ඉදිවෙමින් පවතින අතර, එම නිවාස විවිධ අදියරයන් යටතේ පවතී. කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ නිවාස 21 ක් ප්‍රතිලාභි අයිතියට පවරා ඇති අතර දෙවන අදියර යටතේ නිවාස 27 ක් විවිධ අදියරයන් යටතේ ඉදි වෙමින් පවතී.

මෙම එක් නිවසක් සදහා රුපියල් මිලියනයක මුදලක් අමාත්‍යාංශය විසින් ප්‍රතිලාභියා වෙත ලබා දෙනු ලබන අතර ප්‍රතිලාභියා විසින් සිය නිවස්නය ඉදි කරගනු ලැබේ. මෙම නිවාස ව්‍යාපෘතියේ ඇති විශේෂත්වය වන්නේ ප්‍රතිලාභියාගේ ආර්ථික හැකියාව මත මිලියනයකට වඩා වටිනාකමකින් යුත් නිවසක් සිය අභිමතය පරිදි ඉදිකර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබීමයි.

ප්‍රතිලාභියා තෝරා ගැනීමේ අවස්ථාවේ සිට නිවසේ ඉදිකිරීම් අවසන් වන තුරු අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
මෙම නිවාස වැඩසටහන යටතේ 2019 වර්ෂය තුළ උතුරු නැගෙනහිර නිවාස 10,000 ක ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව ඇත. මේ සදහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 10,000 කි. මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ලබා දෙනු ලැබේ.

මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් අතිරේක ලේකම් එස්.මුරලිදරන් මහතා, චංකානෙයි ප්‍රාදේශීය ලේකම් පී. ප්‍රමිනේ මහත්මිය, කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් ඌෂා සුභලිංගම් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *